ක්‍රීඩකයන් බොහොමයක් පරීක්‍ෂණය මඟහැරියා

  👤  1683 readers have read this article !
Published by : MB WEB 2017-09-19 12:15:59

විචිත්‍ර වීරසිංහ

පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර කායවර්ධන කවය අතර 2017 ජනවාරි මස 23 වැනිදා සිට 25වැනිදා දක්වා මග්ගොන සරේ ක්‍රීඩාපිටියේදී පැවැති ක්‍රිකට් තරගයකදී තරග පාවාදීමක් සිදුවූයේ දැයි විමර්ශනය කිරීමේදී තරගයේ ජීවගුණයට හානි සිදුකළා යැයි යන චෝදනාව මත දෙපිලේම ක්‍රීඩකයන් හා නිලධාරීන් 27දෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මගින් දඬුවම් පනවා තිබිණි.

ඒ අනුව එම තරගයේ නායකයන් දෙදෙනා වන චාමර සිල්වාට හා මනෝජ් දේශප්‍රියට වසර දෙකක දඬුවමක්ද අනෙක් ක්‍රීඩකයන්ට එක් වසරක බැගින් දඬුවම් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (18දා) මාධ්‍ය හමුවක් පැවැති අතර, ඒ කරුණ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ කමිටුවේ සභාපති අසේල රැකව, තරගාවලි කමිටුවේ සභාපති බන්දුල දිසානායක හා දේශීය ක්‍රිකට් භාරව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් යන මහත්වරුන්ද එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ එම පරීක්‍ෂණය සිදුකළ කමිටුවේ සභාපති අසේල රැකව මහතා පවසා සිටියේ මෙම විමර්ශන කටයුතු සඳහා කරුණු දැක්වීමට ක්‍රීඩකයන් කිහිපදෙනකු හැරෙන්නට බොහෝ පිරිසක් සහභාගි නොවූ බවත්, චාමර සිල්වා ඔහුගේ නිර්දෝෂීී භාවය ඔප්පු කිරීමට කිසිදු අවස්ථාවක නොපැමිණි බවත්ය.

"මෙම තරගය යම් සැකයට තුඩු දුන් බව මෙම තරගයේ තරග තීරකවරයාත්, විනිසුරුවන් දෙදෙනාත් පැමිණිලි කර තිබුණු නිසා එය පරීක්‍ෂා කිරීමට අපිට භාර වුණා. එහිදී අපි හැම පැත්තකින්ම අවධානය යොමු කිරීමට තීරණය කළා. අපි මේ පිළිබඳව විමර්ශනය කරන්න කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට ආරාධනා කළත් ඔවුන් මේ සඳහා අපිට සහයෝගය ලබාදුන්නේවත්, ඔවුන්ගෙන් බහුතරයක් නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මේ මාස 6ක කාලය තුළ පැමිණියේවත් නැහැ. පානදුර ක්‍රීඩා සමාජයේ නායකත්වය හා පුහුණුකාරීත්වය ඉසිලූ චාමර සිල්වා ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට නීතිඥයකු එවා තිබුණත් කිසිදු අවස්ථාවක ඔහු තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පරීක්‍ෂණ කමිටුව ඉදිරියට පැමිණියේ නැහැ. තරගය පැවැත්වුණු තුන්වැනි දිනයේදී කණ්ඩායම් නායකයාගේ වාර්තා පොතේ චාමර සිල්වා අස්සන් කර තිබුණේ නැහැ කියලා අපි කළ විමර්ශනයේදී ඔප්පු වුණා. ඔහුට බඩේ අමාරුවක් සෑදී ඇති බව අපිට ආරංචි වුණත් එසේ තුන්වැනි දිනයේ අස්සන් නොකළ හේතුව සඳහන් කොට හෝ ඔහු අපිට ලිඛිත දේශනයක්වත් ලබා දුන්නේ නැහැ" යැයි පැවැසූ කමිටු සභාපතිවරයා තමන් කමිටුවේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් බවත්, දඬුවම් පැනවූයේ තමන් නොවන බවත් කීය.

මේ අතර මෙම තරගය පාවාදීම පිටුපස කණ්ඩායම් දෙකේම නිලධාරීන් සිටින බව පැවසුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා පැවැසුවේ මෙවැන්නකි.

"තෙවැනි පාර්ශ්වයක් මත මෙය සිදුවුණා කියලා කිසිම අවස්ථාවක වාර්තා වුණේ නැහැ. ඒ කියන්නේ කණ්ඩායම් දෙකේම ප්‍රධාන නිලතල දරන නිලධාරීන් මෙයට සෘජුව මැදිහත් වුණේ නැහැ කියන මතය ඔප්පු වුණා. කොහොම වුණත් ඔවුන් සියලු දෙනාට අභියාචනයක් ඉදිරිපත් කරලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන්. ඒත් තම තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට තිබූ අවස්ථාවේදී එය අහිමි කරගැනීම පිළිබඳව අපි කනගාටු වෙනවා" යැයි දිසානායක මහතා පැවැසුවද ක්‍රීඩකයන් 22දෙනාට අමතරව චෝදනාවට ලක්වූ අනෙක් පස්දෙනා කවුරුන්ද යන්න මාධ්‍ය හමුවේ අනාවරණය නොකළේය.

මේ සම්බන්ධයෙන් දිසානායක මහතාගෙන් "මව්බිම" පසුව කළ විමසීමේදී ඔහු පැවැසුවේ චෝදනාවට ලක්වූ නිලධාරීන් අතර, ලකුණු සටහන්කරුවන් දෙදෙනකු, පුහුණුකරුවන් දෙදෙනකු හා එක් ක්‍රීඩා සමාජයක ලේකම්වරයකු සිටින බවය.

කෙසේ වෙතත් ලබා දුන් මෙම දඬුවම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ.මතිවානන් මහතා පැවැසුවේ එය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ තීරණයක් බවත්, එම දඬුවම සැප්තැම්බර් 16 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, එම තීරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ක්‍රීඩකයන්ට හා නිලධාරීන්ට අවස්ථාව ඇති බවත්ය.

ඡායාරූපය - දුමිඳු වනිගසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon