හෙට සහ අනිද්දා මැති සබයේ පැති මාරුවක් ඇතුළු ආන්දෝලනාත්මක වෙනසක්

  👤  2163 readers have read this article !
Published by : MB WEB 2017-09-19 15:44:17

දයා පෙරේරා, ජේ. ටී. ද සිල්වා

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම යන පනත් කෙටුම්පත් දෙක හෙට (20දා) හා අනිද්දා (21දා) විවාද කළහොත් පාර්ලිමේන්තුවේ පැති මාරුවීම් ඇතුළු ආන්දෝලනාත්මක පෙරළි සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශේ්‍රෂ්ඨාධිකරණ තීරණය කතානායක කරු ජයසූරිය වෙත ලැබී ඇති බවද පැවැසේ. ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබීමෙන් එළැඹෙන පළමු වැනි රැස්වීම් දිනයේදී කතානායකවරයා එම තීන්දුව සභාවට දිය යුතු බව ස්ථාවර නියෝග 50 (2) (ඇ) යටතේ සඳහන්ය. ඒ අනුව කතානායකවරයා එම තීන්දුව අද (19දා) සභාවට දැනුම් දීමට නියමිතය.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන පනත් කෙටුම්පත අනිද්දා (21දා) විවාදයට නොගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

මේ තත්ත්වය පදනම් කරගෙන හෙට හා අනිද්දා ආණ්ඩුව ගන්නා තීරණය අනුව සියල්ල සිදුවනු ඇත.

විසි වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය නොදී විපක්ෂයට යන බවට ආණ්ඩුවට සම්බන්ධව සිටින ශ්‍රී .ල.නි.ප. මන්ත්‍රිවරුන් ඉකුත්දා ජනාධිපතිවරයාට පවසා තිබීමත් යම් හෙයකින් ඡන්දය ප්‍රකාශ කර ඉදිරි දිනකදී විපක්ෂයට පැමිණියහොත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට බඳවා නොගන්නා බවට එම කණ්ඩායමෙන් ප්‍රකාශ වී තිබීමත් නිසා තත්ත්වය තීරණාත්මක විය හැකි බවද දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.

කෙසේ වෙතත් අද (19දා) පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගන්න එකඟතා පදනම් කරගෙන ඉදිරි දින දෙකේ ක්‍රියාකාරකම් තීරණය වනු ඇත.

අද පාර්ලිමේන්තුවේදී මෝටර් රථ වාහන සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නියමිත බව න්‍යාය පත්‍රයේ සඳහන්ව ඇත.

20 වැනි සංශෝධනය විවාදය සඳහා පාර්ලිමේන්තුව හෙට (20දා) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව බව න්‍යාය පත්‍රයෙහි සඳහන්ව තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon