විදුලි වර්ජනය අදත් ඉවර නෑ: අනියම්-කොන්ත්‍රාත් සේවකයන්ට ජොබ් එක නැතිවෙයි

  👤  2088 readers have read this article !
Published by : MB WEB 2017-09-20 09:52:58

හර්ෂණී අර්සකුලරත්න

ලං.වි.ම. වෘත්තීය සමිති තවදුරටත් අඛණ්ඩ වැඩ වර්ජනයේ නියැළෙන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

පෙරේදා කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ලබා දීමට නියමිත නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදුවන බවද හෙතෙම පැවැසීය.

කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවැසුවේ වෘත්තීය සමිතිවල ඇතැම් ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා පවතින බවයි.

කෙසේ වෙතත් පත්‍රය මුද්‍රණය වන අවස්ථාව වනවිටද වැඩ වර්ජනය සම්බන්ධව පාලනාධිකාරිය හා වෘත්තීය සමිති නිසි එකඟතාවකට එළැඹී තිබුණේ නැත.

මේ අතර වැඩ වර්ජනයට සහභාගි වී සේවයට වාර්තා නොකළ ලං.වි.ම. අනියම් සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සියලු සේවකයන් සේවය හැර ගියා සේ සලකා සේවයෙන් ඉවත් කිරීමට ලං.වි.ම තීරණය කර ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.

ඒ අනුව ඊට අදාළ ලිපි සේවකයන්ට ඉදිරි දින කිහිපය ඇතුළත ලැබීමට ලං.වි.ම. කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

වැඩ වර්ජනය ආරම්භයේදීම අමාත්‍යාංශ මට්ටමින් එම සේවකයන්ට 15දා වන තෙක් කාලය ලබාදී එදින උදෑසන 8.30ට සේවයට වාර්තා කරන ලෙස දන්වා සිටි බවත් ඉන් පසුව කාලය 18දා දක්වා දික් කළද ඇතැම් සේවකයන් සේවයට වාර්තා නොකළ බවද ඔහු පැවැසුවේය.

අනියම් සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටින සේවකයන්ගේ විනය පැවැත්ම අනිවාර්ය බවත් ආයතනය මේ පිළිබඳ සලකා බලා මේ තීරණයට එළැඹි බවත් "මව්බිම" කළ විමසීමකදී ඔහු පැවැසුවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon