මස්කෙළිය රෝහලේ සෝපානයට පණ දෙන්න කවුරුවත්ම නැද්ද?

  👤  1399 readers have read this article !
Published by : MB WEB 2017-09-23 14:02:06

වසර 3කට අධික කාලයක් තිස්සේ මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අක්‍රියවය. පැමිණෙන රෝගී ජනතාව මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද මේ නිසා අපහසුවෙන්ය.

මහල් හතරකින් සමන්විත රෝහලේ වාට්ටු ප්‍රමාණය 6කි. එහි සූතිකාගාරය පිහිටා ඇත්තේද දෙවන මහලෙහිය. එම නිසා විදුලි සෝපානයක අවශ්‍යතාව දැඩිලෙස මතුව තිබුණද එය යළි සකස් කරදීමට වගකිවයුතු බලධාරීන්ගේ අවධානයක් නැත.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන මෙම ප්‍රාදේශීය රෝහල 1970 වසරේ ආරම්භ කළ එකකි. ප්‍රදේශයේ වතු 15ක ජනතාවක් සහ ගම්මාන 8ක ජනතාවක් වෙනුවෙන් සේවය සැලසීමට මෙම රෝහල ස්ථාපිත කොට තිබේ.

විදුලි සෝපාන දෙක අක්‍රියව පැවතීම නිසා රෝගීනට ඉහළ මහල්වලට යෑමට සිදුවී ඇත්තේ පඩි පෙළ දිගේය. එය රෝහල මැදින් පිහිටුවා ඇත. අසාධ්‍ය රෝගියකු පැමිණි විට ඔහු ඉහළ වාට්ටුවලට ඔසවාගෙන යෑමට තවත් පිරිසක් රෝගියා සමඟ පැමිණිය යුතුය.

රෝගියා, ඉහළ මහල් වෙත පඩිපෙළ දිගේ ඔසවාගෙන යෑමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළද පඩිපෙළක් දිගේ රෝගියෙක්, අනතුරක් නොවන පරිද්දෙන් ඔසවාගෙන යෑමද සුළු පටු කටයුත්තක් නොවේ. සෑම දිනකම මෙම අපහසු දේට රෝහල් කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවේ. එහෙත් එසේ ඔසවාගෙන යන රෝගියකුගේ ජීවිත අවදානම ගැන සිතා හෝ වසර 3ක් තිස්සේ මෙම විදුලි සෝපානය අලුත් වැඩියා කර නොදීම පුදුමසහගත දෙයක් බවට පෙනී යන්නේ එතරම් උඩකට රෝගියෙක් රැගෙන යෑමට දරන වෙහෙස දකින විටය.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගෙන් විමසූ විට ඒ මහතා පවසා සිටියේ මේ වන විට සෝපානය අලුත්වැඩියා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලබාදී ඇති බවත්ය. ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බවය.

මේක 2014 අවුරුද්ද වෙනකල් වැඩ කරල තියෙනවා. සෝපාන දෙකම සැරෙන් සැරේ අක්‍රියවෙලා තියෙනවා. මාරුවෙන් මාරුවට වුණත් අලුත්වැඩියා කරල තියෙන බවට තමයි තොරතුරු තියෙන්නේ. කොහොම වුණත් මට භාරදීලා තියෙන මේ වැඩේ ඉක්මනින්ම නිම කරලා දෙන්න කටයුතු කරනවා. අවුරුදු තුනකට අධික කාලයක් තිස්සේ රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියදීත් ඇයි මේ ගැන කඩිනම් විසඳුමක් ලබා නොදුන්නේ. අප කළ විමසුමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ප්‍රකාශකයකු කීවේ මෙවැන්නකි.

"නුවරඑළිය දිසාපති කාර්යාලයට ගිහින් බලන්න. හිටපු දිසාපතිවරුන්ගේ ලේඛනය දෙස බලද්දී එක අවුරුද්දේ දිසාපතිවරු හතර දෙනකු දෙනා මාරුවෙලා ගිහින් තියෙනවා. තව අවුරුද්දක තුන් දෙනෙක් මාරුවෙලා. වසන්ත සමය කාලෙට රටේම සංචාරකයන් නුවරඑළියට ඇවිත් හිනාවෙලා ගියාට මේ නගරය පරිපාලන නිලධාරීන්ට මෙන්ම රජයේ සේවකයන්ට ජනප්‍රිය ප්‍රදේශයක් නෙමෙයි.

සමහර විට ඒ නිලධාරීන් මේ විදුලි සෝපාන අලුත්වැඩියා කරවන්න උත්සාහ කරමින් ඉන්න අතරේ ඉල්ලපු මාරුවීම් ලැබිල යන්න වෙන්න ඇති. ඒ ඒ විදියට මේක ක්‍රම ක්‍රමයෙන් අතපසු වෙන්න ඇති. සැබෑම තත්ත්වෙ ඒකයි. හැබැයි අධ්‍යක්ෂ තලගල මහත්තයාගේ යටතේ මෙය ඉක්මන් වෙයි කියල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්"
ඒ දවස එනතෙක් සියල්ලෝ බලා සිටිති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon