බර ඉසිලීමෙන් තරග වැදුණු උෂාන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

  👤  2212 readers have read this article !
Published by : MB WEB 2017-09-27 11:03:14

ටර්ක්මෙනිස්තානයේ පැවැත්වෙන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා හා සටන් කලා ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්වකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට උෂාන් චාරුක විදාන සමත් විය. කිලෝග්‍රෑම් 105ට වැඩි බර පන්තිය යටතේ පිරිමි බර ඉසිලීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන උෂාන් මෙම නව වාර්තාව පිහිටුවීම සඳහා කිලෝග්‍රෑම් 319ක බරක් (ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ. 139ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 180ක්) ඔසවා ඇත.

මේ අතර බර ඉසිලීමේ තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ උෂාන් තරගයෙන් පසුව අදහස් දක්වමින්, තමන් මෙම තරගාවලියට තෝරා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයට, ක්‍රීඩා අමාත්‍යාංශයට හා ජාතික ඔලිම්පික් කමිටුවට ස්තුතිය පළකර සිටියේය.

කෙසේ වෙතත් එම තරගයේදී උෂාන් චාරුකට හිමිවුණේ 8 වැනි ස්ථානය වන අතර එම ඉසව්වේ රන් පදක්කම හිමිවූයේ උස්බෙකිස්තාන් ක්‍රීඩකයාටය. මේ අතර චෙස් තරග සඳහා ලංකාව වෙනුවෙන් තරග වැදුණු රොමේෂ් වීරවර්ධන සහ රාජේන්ද්‍ර කලුගම්පිටිය පිරිමි යුගලය සහ දසුනි හන්සිකා-සවුමි සයිනම් කාන්තා යුගළයද පිළිවෙළින් ඇෆ්ගනිස්තානය සහ පිලිපීන කණ්ඩායම් ඉදිරියේ පරාජයට පත්වූහ. තරගාවලිය නිමා වන්නට තවත් දින 2ක් ඉතිරිව තිබියදී සත්කාරක ටර්ක්මෙනිස්තානය රන් පදක්කම් 85ක් ඇතුළුව මුළු පදක්කම් 229ක් දිනාගෙන පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටී. දෙවැනි ස්ථානයට පත්ව ඇති චීනය රන් පදක්කම් 34ක් සමඟින් දිනාගෙන ඇති පදක්කම් සංඛ්‍යාව 77කි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon