තාජුඩීන් ඝාතනය ගැන රහස් පොලිසියෙන් අලුත් හෙළිදරව්වක්

  👤  2186 readers have read this article !
Published by : MB WEB 2017-09-29 10:22:35

කේ.එස්. උදය කුමාර්

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පැමිණිල්ල ඊයේ (28දා) කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කියා සිටියේ තාජුඩීන් ඝාතනය වූ දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් දුරකතන ඇමතුම් කිහිපයක් පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවයි.

එම ඇමතුම් නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව සඳහන් කළේය.

එමෙන්ම ඝාතනය වූ දා තාජුඩීන් ගමන්ගත් වාහනය ලුහුබැඳ ගිය තවත් වාහනයක ගමන් ගත් පුද්ගලයන් පිළිබඳ ඡායාරූප හඳුනා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් එම ඡායාරූප හඳුනාගත නොහැකි බවට රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කිරීම සඳහා කල් ලබා දෙන මෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

අනතුරුව පැමිණිල්ල නොවැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් මේ වන විට ඇප මත මුදාහැර තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon