අන්තර්ජාලය ඔස්සේ ඡන්දය දීම බි්‍රතාන්‍යයට හඳුන්වා දුන් අපේ නිරුෂිකා කඳුළු සලමින් අම්මා සොයයි

  👤  2038 readers have read this article !
Published by : MB WEB 2017-10-16 16:28:58

ශ්‍රී නිරුෂිකා ඇට්චේසන් බි්‍රතාන්‍ය අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන් තාක්ෂණික ශිල්පිනියයි. එමෙන්ම ඇය එක්සත් රාජධානියේ තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් තිස් පස් දෙනා අතරට ඇතුළත් වී අවසන්ය. ඇය අවස්ථා ගණනාවකදී ලෝක ආර්ථික සමුළුවද අමතා තිබේ. ලෝක තරුණ සමුළුවටද සහභාගි වී තිබේ. බි්‍රතාන්‍යයේ දක්ෂතම කාන්තාවක් වන නිරුෂිකා මේ ලිපියට ප්‍රස්තුතය වන්නේ ඇයිද යන්න ඔබට සිතෙනු ඇත.

ඇය ශ්‍රී ලංකාවේ උපන් දියණියකි. උප්පැන්න සහතිකය අනුව ඇය 1991 පෙබරවාරි 28 වැනිදා මහනුවර මහ රෝහලේදී උපත ලබා ඇත. මව උපන් ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ මාතලේ නාඋල ප්‍රදේශයයි. මවගේ නම ලෙස සඳහන් වී ඇත්තේ ඩිංගිරි මැණිකේ නමිනි. ඇය අයර්ලන්තයේ මවුපිය යුවළකට හදා වඩා ගැනීමට දුන් මෙරට දියණියකි. අවුරුදු 26ක් පුරා ජීවිතය විඳ ජයග්‍රහණ ලබා ඇති ඇය මේ වනවිට නොතිත් ආසාවෙන් ඉන්නේ තමා මෙලොවට බිහි කළ මව දැක බලා ගැනීමටය.

නිරුෂිකාගේ උප්පැන්න සහතිකයට අනුව මවගේ ලිපිනය කැලණිය ප්‍රදේශයේ ස්ථානයක් නම් කර ඇතත් එවැනි සැබෑ ලිපිනයක් නැති බව මේ වන විට තහවුරු කරගෙන ඇත. පියාගේ නම නොදනී යන්න සඳහන්ව ඇත.

හදාවඩා ගැනීමට නොහැකි දරුවන් විදෙස් රටවල මවුපියන්ට හදා වඩා ගැනීමට ලබාදීමත් සමඟ බොහෝ තරුණ දරුවන් තම මවුපියන් සොයාගෙන ලංකාවට පැමිණියා මතකය. එක්දහස් නවසිය අසූ ගණන්වලදී ශ්‍රී ලාංකික බිලිඳුන් 11,000කට වැඩි ගණනක් විදෙස් රටවලට අලෙවි කිරීම හෝ ලබා දී ඇති බවට වාර්තා වී ඇති අතර එකල මෙරට බේබි ෆාර්ම් හෙවත් දරුවන් අලෙවි කරන ස්ථානද පැවැති බවට වාර්තා වේ.

කෑමක් බීමක්, නිවෙසක්, ඉඳුම් හිටුම් නැති නිවෙසක දරුවකු ලොකු කිරීම පහසු නැත. කුමන හෝ කුලී වැඩක් කර එදා වේල සරි කරගන්නා මවක් හෝ පියෙක් තම දරුවාට සැප සම්පත් දී ලෙඩ වුණු විට බේත් හේත් නිසි ලෙස දී ලොකු මහත් කිරීම කිසිසේත්ම පහසු නැත. ආර්ථික, සාමාජීය තත්ත්වයන් අතින් පහළ ස්ථරයක සිටින රටක් ලෙස අදටත් වඩා එදා මේ තත්ත්වය දරුණු ඛේදවාචකයක් වන්නට ඇත. එය මේ රටේ ජනතාව අකැමැත්තෙන් වුවත් පිළිගත යුතු සත්‍යයයි.

තමාගේ කුසසෙන් උපන් දරුවා වෙනත් දේශයකට හදා වඩා ගැනීමට ලබා දෙන්නට හිත හදාගන්නා එක ඒ අම්මාට පහසු නොවන්නට ඇත. පියකු නැති දරුවකු හදා වඩා ගන්නා ගැහැනියකට හා එවැනි පියකුගේ නමක් නැති හෝ පියකු නැති දරුවකුට අප සමාජයේ ජීවත්වීම කිසිසේත්ම පහසු නැත. ලෝකය මෙතරම් දියුණු කාලයක පවා එම සමාජීය තත්ත්වය එතරම්ම වෙනස් වී නැත.

නිරුෂිකා අන්තර්ජාලය හරහා තම අම්මාට කියන්නේ අම්මා නිසා ඇයට ලැබුණු අවස්ථාවන් ගැන ස්තුතිවන්ත වන බවයි. තමාගෙ අම්මා දැක ගැනීමට ආශාවෙන් සිටින බවයි. නිරුෂිකාට අදවන විට ලැබී ඇති අවස්ථා ගැන ඇය සිටින්නේ තෘප්තියකිනි. නමුත් නිරුෂිකාගෙන් තමා මෙලොවට බිහිකළ අම්මා කියන හැඟීම ජාති, ආගම්, කුලය, දේශය, මුදල් තත්ත්වය ආදී සීමාවකින් බැඳ දමන්නට බැරි බව නැවතත් පසක් කරවයි.

දයාසේන ගුණසිංහ ප්‍රවීණ මාධ්‍යවේදියා එදා මේ ඛේදවාචකය රන් තැටියක කඳුළින් දැකපු සැටි සිහිපත් වෙයි.

පෙර කළ මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුණේ
දරුවන් ඇස කඳුළින් ළය උණුවන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක වුව සැනහෙන් දියණියනේ

මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුළක හැඩය මහ සයුරේ දකීවිද

නිරුෂිකා අද ඉන්දියානු මහ සාගරයේ කඳුළු බිංදුව දෙස බලා සොයන්නේ ඇගේ මවයි. ඇය අද දිනා ඇති ලෝකය ඇය මෙරට සිටියා නම් ඇයට ලැබෙන්නට තිබුණු ඉඩ අතිශය අහම්බයකි. ඇගේ මව සොයා ගන්නට මේ ලිපිය යම් දුරකට හෝ පහසුවක් වේ නම් එය අප ලබන සතුටක් බවද සටහන් කළ යුතුය.

රසිකා හේමමාලි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon