නිදහසෙන් පසු ලංකා ඉතිහාසයේ දැඩිම මර්දනය දැන් සිදුවෙනවා

  👤  1850 readers have read this article !
Published by : MB WEB 2017-10-16 13:14:07

සාමාන්‍ය ජනතාවත් සමඟ සාපේක්ෂව සැසඳීමේදී වර්තමාන ආණ්ඩුව ලෝ මේකර්ස්ලා ටී මේකර්ස්ලාගේ තත්ත්වයට පත් කරලා තියෙනවා. නීති සම්පාදකයෝ තේ හදන අයගේ තත්ත්වයට පත් කරලා ඒකට උදවු දෙන නීතිඥයෝ පවා අත්අඩංගුවට ගැනීම ආරම්භ කරලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පවසා සිටියේ රිමාන්ඩ් භාරයට පත්වී සිටින නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක මහතා ඇතුළු මන්ත්‍රිවරුන්ගේ සුවදුක් විමසීමට තංගල්ල බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුවේ මර්දනය නිදහසින් පසු ලංකා ඉතිහාසයේ දැඩිම මර්දනයක් ලෙසයි අපි දකින්නේ. හේතුව තමයි 1948න් පස්සේ ව්‍යවස්ථාදායකයේ නීති හදන තැන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු වැඩිම පිරිසක්, 11 දෙනෙකුට වැඩි පිරිසක්, දේශපාලන පක්ෂ නායකයෝ ඇතුළු වැඩි පිරිසක් දේශපාලන පක්ෂ නායකයෝ ඇතුළු විපක්ෂයේ ඉන්න අය හිරගෙට දාලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමට උදවු සපයන නීතිඥවරු හිරේට දාලා තියෙනවා.

විග්නේශ්වරන් මහ ඇමැතිතුමත් සිවාජිලිංගම් මහත්තයත් මහනුවර බන්ධනාගාරය ළඟට යනවා විදේශීයකරණයට විරුද්ධව කතා කරපු දේශප්‍රේමී මිනිස්සු ටික එළියට දෙන්න කියල අපි තංගල්ල බන්ධනාගාරයට එනවා. දැන් මේ වෙනස බලන්න. සිවාජිලිංගම්ලා විග්නේශ්වරන්ලා එන්නේ රට විනාශ කරපු කොටි ත්‍රස්තවාදීන්ට පොදු සමාවක් දෙන්න කියලා. අපි එන්නේ මේ ජාතිය සතු මහා සම්පත් කුණුකොල්ලයට විජාතිකරණයට විරුද්ධව සටන් කරපු මිනිස්සු රට වෙනුවෙන් එළියට දෙන්න කියන්න. මෙන්න වෙනස.

මහ දවල් මහ බැංකුව මංකොල්ල කාලා රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ බැඳුම්කර කොමිසමට දුන්න සාක්ෂිවලින් හෙළි වෙනවා මහ දවල් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලය කරන්න සෘජුව අනුබල දුන්නා කියලා.

එහෙත් ඔහු නිරුපද්‍රිතව එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතුවල නිරත වෙනවා. රටේ ජනතාව වෙනුවෙන් හඬනඟන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිතුමන්ලාවයි පාසල් ශිෂ්‍යයෝ පිරිසකුයි අත්අඩංගුවට අරගෙන. මේ මොන නීතිය නැමිල්ලක්ද. මොන උද්ධච්ච පොලිස් රාජ්‍යයක්ද. පොලිස් කොමිසමක් තියෙනවා. ජනාධිපතිතුමෙක් ඉන්නවා.

ඊයේ පෙරේදා පෙන්නුවා බදුල්ල නගරයේ ඉතාම සාධාරණ ලෙස ජනතාව තමන්ගේ දුක් ගැනවිලි කියන්න උද්ඝෝෂණය කළා. පාරවල් වැහුවා. උසාවි නියෝග දුන්නා. ඒ රැස්වීම තියන්න එපා කියපු ස්ථානයේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙක් රැස්වීම තිබ්බා. ඒක මුළු රටම දැක්කා. ඇයි ඒ ජනතා විමුක්ති පෙරමුණටයි, එක්සත් ජාතික පක්ෂයටයි ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට තියෙන අයිතිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට නැත්තේ.

ඒ නිසා තමයි අපි දේශීය ජාත්‍යන්තර වශයෙන් මේ රට බේරගන්න කැප වෙච්ච ජාතික වීරයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, රණවිරුවන්ට, බුද්ධි අංශ නිලධාරීන්ට හා රට වෙනුවෙන් හිටගත්ත ජනතාවට එළව එළවා කරන මේ ම්ලේච්ඡ පහරදීම් හා නීතිය නවලා නීති හදලා නඩු හදලා බන්ධනාගාරගත කිරීම්වලට විරුද්ධව අපිට කළ හැකි උපරිමය දේශීය හා විදේශීයව කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඊනියා යහපාලන ආණ්ඩුව මැර ඒකාධිපති, පැසිස්ට් කුරිරු පාලනයක් ගොඩ නඟන්න දරන උත්සාහය අපි වළක්වාගත යුතුයි. ඒ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මෙසේ කීය.

එදා මට මතකයි විවියන් ගුණවර්ධන මහත්මිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උදඝෝෂණයට මේ වගේම ප්‍රහාරයක් එල්ල කළා. එදා එතුමිය උසාවියට ගිහිල්ලා ඒ ප්‍රහාරය එල්ල කළ පොලිස් නිලධාරීන්ට දඬුවම් දුන්නා. මේ ගහන අයට අපි කියන්න කැමැතියි ඒක හොඳට මතක් කරගන්න කියලා. මේ පොලිස් නිලධාරීන්ට අපි මතක් කරන්න කැමැතියි අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා කියන එක.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මෙසේ පැවැසීය.

අපි අධිකරණ නීති කඩලා නැහැ. අපේ තරුණ කාලේ එහෙම කරන්න ඇති. නමුත් දැන් නම් එහෙම කරන්නෙ නැහැ. ආණ්ඩුව දැනගන්න ඕන මේ ආණ්ඩුව හැමදාම තියෙන්නෙ නැහැ. ඒ නිසා මේක ඉදිරියේදී ඒගොල්ලන්ට පාරාවළල්ලක් වෙයි කියන එක මං මතක් කරලා දෙන්න ඕන.
පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා මෙසේ කීය.

සීයේ ආණ්ඩු කාලේ මහින්ද අමරවීරත් එක්ක ගිහිල්ලා මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා. පාරේ බුදියගත්තා. හැබැයි එදා මහින්ද අමරවීර අත්අඩංගුවට ගත්තෙ නැහැ. ඒකාධිපති තුච්ච නිවට පාලනයක් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ එකතුවෙලා ක්‍රියාත්මක කරනවා. සිරගත කිරීම අපේ සටනට විරාමයක් තැබීමට කිසිම හේතුවක් නෙවෙයි කියන එක ජනාධිපතිවරයත් අගමැතිවරයත් පැහැදිලිව හිතට ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ පැවැසීය.

ඉතිහාසයේ මේ වගේ විරෝධතා අනන්ත අප්‍රමාණ තියෙනවා අපි දැකලා තියෙනවා. හැබැයි කවදාවත් විරෝධතාවලට ආපු අයට මේ විදියට අමානුෂික විදියට වතුර විදලා, කඳුළු ගෑස් ගහලා හිරේ දැම්මෙ නැහැ. අපි දැක්කා ඉතිහාසයේ ආණ්ඩු කිහිපයක් මේ රට පාලනය කළා. හැබැයි කවදාවත් එහෙම කළේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මෙසේ කීවාය.

ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම මේ ආණ්ඩුවේ ප්‍රධාන පරමාර්ථය. අපිට අහන්න තියෙන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ යහපාලනයද කියලා.

තංගල්ල - සහම්පති මානගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon