ලංකාවත්, පාකිස්තානයත් එක් දින තරගවලදී 150 වැනි වතාවටත් අද හමුවෙයි

  👤  1956 readers have read this article !
Published by : MB WEB 2017-10-16 09:41:25

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙවර එක් දින තරගාවලියට අදාළව අද අබුඩාබි නුවර ශේක් සයෙඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ජාත්‍යන්තර එක් දින තරගය දෙරට අතර පැවැත්වෙන 150 වැනි එක් දින තරගය ලෙස වාර්තා වන අතර මෙම තරගයෙන්ද ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය අත්කර ගැනීමට නොහැකි වුවහොත් මෙම තරගාවලියේ වැඩි වාසිය සත්කාරක පාකිස්තාන් පිලට යෑම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත.

එබැවින් අද පැවැත්වෙන එක් දින තරගය කෙසේ හෝ ජයගැනීමේ සැලැස්මක් උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට තිබිය යුතු අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ස්ථාවර ලකුණු සංඛ්‍යවක් කරා යන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු මුසුව අද පිටියට පිවිසිය යුතුය.

මෙම කණ්ඩායම් දෙක අබුඩාබි ක්‍රීඩාංගණයේදී එක් දින තරගයක් සඳහා හමුවන හත්වැනි අවස්ථාවද මෙය වන අතර මීට පෙර මෙහි පැවැති තරග හයෙන් තරග හතරකම ජය හිමිකර ගෙන ඇත්තේ පාකිස්තාන් කණ්ඩායමයි. ඒ අනුව බලන විට මෙම ක්‍රීඩාංගණයේදීත් වැඩි දස්කම් ශ්‍රී ලංකා පිලට එරෙහිව පෙන්වා ඇත්තේ පාකිස්තාන් කණ්ඩායම වන අතර මේ වන විට සිම්බාබ්වේ (ට 2යි), ඉන්දියාව (ට 5යි) හා පාකිස්තානය (ට 1යි) යන කණ්ඩායම්වලට එරෙහිව නොකඩවා එක් දින ජාත්‍යන්තර තරග 8ක් පරාජය වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය විශාල අභියෝගයක් වනු ඇත.

ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රාහී රිද්මය සහිත සැලසුම් ඉදිරියටම රැගෙන යන්නට කටයුතු කරන බවට පළමු එක් දින තරගයට පෙර ශ්‍රී ලංකා නායක තරංග පැවැසුවද එම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ගත් තීරණයද යම් මතභේදාත්මක කරුණක් විය.

යහපත් ආරම්භයක්ද නොමැති තත්ත්වයක් සහිතව ඉදිරි පෙළ පිතිකරුවන්ගේ කලක සිට පවතින දුර්වලතාවන් අද තරගයේදී හෝ මඟහරවා නොගතහොත් ශ්‍රී ලංකා පිලට අසීරු ගමනක් යෑමට සිදුවන අතර පන්දු යවන්නන් අතුරින් ලක්මාල් හා වැන්ඩර්සේ පළමු තරගයේදී දැක්වූ ආකාරයට අනෙක් පන්දු යවන්නන්ද අද කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල වන පීඩනයෙන් ප්‍රතිවාදීන් වාසි සලසාගනු ඇත. ඒ නිසා මෙම වර්ෂය තුළදී තරග වැදී ඇති එක් දින තරග 22න් 17ක්ම පරාජය වෙමින් එක් දින ක්‍රිකට් ඉතිහාසයේ අසාර්ථකම එක් දින වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පසුබෑමේ ගමන යම් තරමකට හෝ වළක්වා ගැනීමට නම් අද වෙනස් ප්‍රතිඵලයක් ලබා ගත යුතුය.

කෙසේ වෙතත් අද තරගයේදී පාකිස්තාන් කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොකරන බවට වාර්තා වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ වෙනස්කමක් සිදුකෙරෙනු ඇතැයි පැවැසේ. ඒ අනුව පිතිකරුවකු ලෙස චාමර කපුගෙදර හෝ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස සීක්කුගේ ප්‍රසන්න අද කණ්ඩායමට එක් විය හැකිය. මේ අතර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිත තුන්වැනි විස්සයි-20 තරගයද පාකිස්තානයේදී නොව මෙරට ක්‍රීඩාංගණයකදීම පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

පෙර සැලසුම් අනුව එම 3 වැනි විස්සයි-20 තරගය මේ මස 29දා පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පාකිස්තානයට යෑමට ලිඛ්තවම තම අකැමැත්ත ප්‍රකාශ කර සිටින බැවින් එම සැලැසුම් වෙනස් කිරීමට තරග සංවිධායකයන්ට සිදුවී ඇත. මේ සම්බන්ධව කණ්ඩායමේ ජේ‍යෂ්ඨ ක්‍රීඩකයකු "මව්බිම" ට කියා සිටියේ බොහෝ ක්‍රීඩකයන්ගේ මතය මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියට දන්වා ඇති බැවින් අවසන් විස්සයි-20 තරගයට පාකිස්තානයට යෑමට සිදුනොවන බවට විශ්වාසයක් ඇති බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon