ලෝකයේ ලාබාලම නායකයා ඕස්ට්‍රියාවෙන්?

  👤  1920 readers have read this article !
Published by : MB WEB 2017-10-16 14:06:47

ඕස්ට්‍රියාවේ ගතානුගතිකවාදී ජනතා පක්ෂයේ නායක සෙබස්තියන් කර්ස් ලෝකයේ තරුණම ජාතික නායකයා බවට පත්වනු ඇති බව ඉරිදා (ඔක්තෝබර් 15) පැවැත්වුණු මහ මැතිවරණයේ නිල නොවන ප්‍රතිඵල අනුව දක්නට ලැබේ.

31 හැවිරිදි සෙබස්තියන් කර්ස් (Sebastian Kurz) ගේ නායකත්වයෙන් යුත් ජාතික පක්ෂය මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්දවලින් 31.5% ක ප්‍රතිශතයක් ලබාගනු ඇති හැඩක් පෙනී යයි. 

එම ප්‍රතිඵල අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 27.1% ක් ඡන්ද ලැබී තිබෙන අතර, අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය ප්‍රකාශිත ඡන්දවලින් 25.9% ක් හිමිකර ගෙන සිටියි.
ජනතා පක්ෂයට බහුතර බලයක් අහිමි හෙයින් සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ නිදහස් පක්ෂය සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම පිණිස උත්සාහ දරනු ඇතැයි විශ්වාස කෙරේ.

සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රශ්නය මෙවර මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම මාතෘකාවක් වී තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් වසර ගණනාවකට පසුව නිදහස් පක්ෂයට යළිත් වරක් ආණ්ඩුවට සම්බන්ධ වීමේ අවස්ථාව උදා වී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ජනපතිවරණයේදී ජනාධිපති පදවියට පත්වීමේ අවස්ථාව නිදහස් පක්ෂයේ නායකයාට අහිමි වූයේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකිනි.

එහිදී නිදහස් පක්ෂයේ අපේක්ෂක නෝබට් හොෆර් (Norbert Hofer) පරාජය කරමින් හරිත පක්ෂයේ නායක ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් (Alexander Van der Bellen) ජනපති පදවියට තේරී පත්වූයේ 53% ක් ඡන්ද ලබාගනිමිනි.

ඕස්ට්‍රියාවේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2015 සිට යුරෝපය වෙත ගලා එමින් සිටින සංක්‍රමණිකයන් පිළිබඳව යුරෝපය පුරා විරෝධයක් මතුවෙමින් පවතින අවස්ථාවකය.

එම විරෝධය හේතුවෙන් පසුගියදා ජර්මනියේ පැවති මහ මැතිවරණයේදී ද අන්ත දක්ෂිණාංශික පක්ෂ ඉදිරියට පැමිණියේය.

නිල නොවන ප්‍රතිඵල සනාථ වුවහොත් එය ඕස්ට්‍රියා දේශපාලනයේ ප්‍රබල වෙනසක් සනිටුහන් කරන්නක් බව වියෙනා අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය බෙතනි බේල පවසයි.

ගතානුගතිකවාදීන් සමග එක්ව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රට පාලනය කළ දශකයකට වැඩි කාලයකට පසුව, ඕස්ට්‍රියාවේ ජනතාව දක්ෂිණාංශය කරා ඇදී යමින් සිටින හැඩක් පෙනී යන බව බීබීසී වාර්තාකාරියගේ අදහසය.

මේ අතර සිය පක්ෂයේ ප්‍රතිපත්ති සොරා ගනිමින් සිටින බවට අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයේ නායක හෙන්ස් ක්‍රිස්ටියන් ස්ටාහ (Heinz-Christian Strache) සෙබස්තියන් කර්ස්ට චෝදනා කරයි.

2013 දී ඕස්ට්‍රියාවේ විදේශ අමාත්‍යවරයා ලෙසින් පත්වීම් ලබන විට සෙබස්තියන් කර්ස් 27 හැවිරිදි වියේ පසු විය. ඔහු එදා මෙදා තුර යුරෝපයේ රටක විදේශ අමාත්‍ය පදවියට පත් වූ ලාබාලතම පුද්ගලයාය.

ඉන් අනතුරුව පසුගිය මැයි මාසයේ ජනතා පක්ෂයේ නායකත්වයට පත් වූ ඔහු, පක්ෂයේ යළි ගොඩ නැගුවේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති මත පදනම් වෙමිනි.

  1. යුරෝපයට සංක්‍රමණිකයන් ඇදී එන මාර්ග වසා දමන බවටත්;
  2. අඩු ආදායම් සහිත දේශපාලන අනාථයන්ට ලබා දෙන සහනාධාරවලට උපරිම සීමාවක් පණවන බවටත්;
  3. අනෙක් විදේශිකයන් පස් වසරක් රටේ වාසය කරන තුරු ඔවුන්ට සහනාධාර ලබා නොදෙන බවටත්

ඒ අවස්ථාවේ ඔහු ප්‍රතිඥා දුන්නේය.

ඇතැම් දේශපාලන විචාරකයෝ එම්මානුවෙල් මැක්‍රෝන් සහ ජස්ටින් ට්රූඩෝ යන ප්‍රංශයේ හා කැනඩාවේ තරුණ නායකයන් සහ සෙබස්තියන් කර්ස් සංසන්දනය කරති.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග තවදුරටත් සන්ධාන ආණ්ඩුවේ රැඳී සිටීම සෙබස්තියන් කර්ස් ප්‍රතික්ෂේප කිරීම හමුවේ හදිසි මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුවට සිදු විය.

(BBC)

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon