බැසිල්ගේ පොහොට්ටුව පිපෙන්න පෙරම පරවෙනවා

  👤  2298 readers have read this article !
Published by : MB WEB 2017-10-17 11:01:41

අලුතින් පිපෙන්න හදන පොහොට්ටුව බැසිල් රාජපක්ෂ සමඟින් පිපෙන්නට පෙරම පරවී යන බව අපි විශ්වාසයෙන් කියන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඉදිරියෙන්ම එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපි දැන් ගමට බැහැලා වැඩ පටන් අරන් ඉවරයි. ජනවාරි මාසයේ තියෙන මැතිවරණය දිනනන්නේ ශ්‍රී ලනිපයයි.

ශ්‍රී ලංකා පොදුජන පක්ෂය ආරම්භ කරන්නට මුල් වුණේ බැසිල් රාජපක්ෂ, පක්ෂයෙන් පක්ෂයට පැන පැන ගිය බැසිල් තමයි මේ පක්ෂයට දැන් නායකත්වය දෙන්නේ. මේ පොහොට්ටුව පිපෙන්නේ නෑ. බැසිල් එක්කම පොහොට්ටුව පරවෙලා යනවා.


මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලනිපයට පිරිසුදු නායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ශ්‍රී ලනිපයෙන් ඉවත්වීමට කිසිකෙනකුට අවශ්‍ය වන්නේ නෑ.

යහපාලන ආණ්ඩුව හොරු හොය හොයා හොරුන්ට දඬුවම් දෙනවා. සිල් රෙදි හොරකම්, මල්වානේ ඉඩම හා නිවෙස සම්බන්ධයෙන් අධිකරණයේදී අදාළ අයට උත්තර දෙන්න බැරි වුණා. රාජපක්ෂ ආණ්ඩුව කට්ටියට හොරකම් කරගෙන යන්න අත ඇරලා නිකම් බලා සිටියා. හැබැයි මේ ආණ්ඩුවෙන් සියලු හොරකම් හොයනවා. ඉදිරියේදී දඬුවම් තීන්දු කරනවා. ඒ වගේම බැඳුම්කර හොරකමට කොමිසමක් දැම්මා. ඒක රිවස් එකට යන්නේ නෑ. ඒක නියමිත තැනින් අවසන් වේවි. වැරැදි කරපු අයට දඬුවම් ලැබේවි.

අපිට ඉතින් අගමැති ගැන කතා කරන්න බෑ. අගමැතිතුමා ගැන ජනාධිපතිතුමා බලාගනීවි. ඒ වගේම වැරැදි කළා නම් හිටපු ඇමැති රවිටත් ඉදිරියේදී දඬුවම් ලැබේවි. ජනපති මෛත්‍රි කියන්නේ හොරු වර්ග කරන්නේ නැති, හොරු හොරු හැටියට සලකන නායකයෙක්. ඇමැතිද? මන්ත්‍රිද? නිලධාරියාද? ලේකම්වරයාද? කවුද කියලා වැඩක් නෑ. හොරකම් කළා නම් දඬුවම් ලැබිය යුතුයි.

එදා මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ ලේකම්වරයා වශයෙන් පක්ෂයට සවියක් දුන්නා සේම අද පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පක්ෂයට ශක්තියක් නායකත්වයක් ලබා දෙනවා. පිරිසුදු පාලනයක් ගෙනයන්නට අපට හැකිව තියෙනවා.

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය අපට විශ්වාසයි. හොරකම පිටු දකින පිරිසුදු නායකයෙක් සමඟයි අපි වැඩ කරන්නේ.

ඉමදුව - ටී. විතානවසම්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon