ලාහෝර් යන්න අකැමැති නම් අනෙක් තරග දෙකටත් නැහැ

  👤  1152 readers have read this article !
Published by : MB WEB 2017-10-18 11:02:39

විචිත්‍ර වීරසිංහ

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට අදාළව 22 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර, තරගාවලියට සහභාගි වන අවසන් 15 දෙනාගේ සංචිතය ඔක්තෝබර් 20 වැනිදා නම් කිරීමට නියමිතව ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් 26 වැනිදා හා 27 වැනිදා අබුඩාබි හි පැවැත්වෙන තරග දෙකට මෙන්ම 29වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අවසන් විස්සයි-20 තරගය සඳහා කණ්ඩායම් දෙකක් නම් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා "මව්බිම" කළ විමසීකදී පැවැසීය.

"අබුඩාබිවල තියෙන තරග දෙකටත්, පාකිස්තානයේ තියෙන තරගයටත් අපි කණ්ඩායම් දෙකක් නම් කරන්නේ නැහැ. 29 වැනිදා පාකිස්තානයේ පැවැත්වෙන තරගයට සහභාගි වන්නේ නම් පමණක් 26 හා 27 යන දිනවලදී අබුඩාබිහි පැවැත්වෙන තරග දෙකට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහභාගි වෙන්න පුළුවන්. ඒත් පාකිස්තානයේ තියෙන තරගයට යන්න කවුරු හරි ක්‍රීඩකයකු අකමැති නම් ඔහුට අනෙක් තරග දෙකටත් සහභාගි වෙන්න බැහැ." යනුවෙන් පැවැසූ සුමතිපාල මහතා ඉදිරියේදී නම් කරන අවසන් 15 දෙනාගේ සංචිතයෙන් මේ කරුණ පිළිබඳව විමසන බවත්, නායකත්වය සම්බන්ධයෙන්ද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සඳහන් කළේය.

"අපි හෙට (අද-18දා) උපුල් තරංගගෙන් මේ පිළිබඳව විමසලා තීරණයක් ගන්නවා. පාකිස්තානය සමඟ පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ නායකත්වයෙන් ඔහු ඉවත් වනවා නම් වෙනත් කෙනකු ඒ සඳහා පත් කරගන්නවා" යනුවෙන්ද සුමතිපාල මහතා කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon