බලලෝභී පරාජිත බලවේග වියරු වැටිලා

  👤  1896 readers have read this article !
Published by : MB WEB 2017-10-26 12:01:09

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති "වියත් මඟ" නම් වූ උත්සව සභාවකදී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් "දේශද්‍රෝහීන්ට මරණය" යන ලේබලය ගසා එය කළ යුතු බවත් එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත් ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ මේ රටේ හැටතුන් ලක්‍ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදීය. ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදීය.

ප්‍රධාන නායකයන් දෙපළම රටේත් ලෝකයේත් විශ්වාසය දිනා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසා ගත නොහැකිව ප්‍රජාතන්ත්‍රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවල ඇසෙන විවිධ ප්‍රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම් ගත හැකිය. ජනතාවාදී වැසිකිළි කටවල්වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්‍රකාශවලට පිළිතුරු ලබා නොදිය යුතු තරම්ය. නමුත් මළ මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම්වලට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිව යුතුය.

ගෝඨාභය රාජපක්‍ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් වියත්මඟ ව්‍යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්‍රකාශ කර සිටියේ එය රටට විපත් මඟ කැඳවන්නට දරන උත්සාහයක් බවද එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.

සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්‍ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නැති බව ඔහු වෙනුවෙන් අටවාගෙන ඇති මෙවැනි ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යළි යළිත් හෙළිදරව් වෙමින් ඇත.

ජාතිවාදී සාහසිකයකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නමැත්තා ද නව ව්‍යවස්ථාවට පක්‍ෂ වූවන් මරා දැමිය යුතු බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂගේ සුවච කීකරු ප්‍රකාශකයා වෙමිනි.

ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ද ව්‍යවස්ථාව සම්මත කරගත නොහැකිවන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට ප්‍රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහිගන්වන්නට උත්සාහ කරයි.

රාජ්‍ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි ප්‍රකාශ කළ හැකි නම් රාජ්‍ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇත්දැයි සිහිබුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව මෙම තත්ත්වය තුළ නව ව්‍යවස්ථාවට පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ළැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතු කරයි.

කැලය මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වී නැහැ. සුදු වෑන්වලින් පැමිණ සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ රහසිගත ඝාතක කල්ලි ක්‍රියාත්මක වූ රාජපක්‍ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවමත් අමතක වී නැත.

ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩනැඟීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමඟ අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බව ප්‍රකාශ කර සිටිමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon