පරණ දේවල් අමතක කොට අලුත් මුහුණුවරකින් අද සටනට

  👤  2031 readers have read this article !
Published by : MB WEB 2017-10-26 09:53:46

පරාජිත මානසිකත්වයකින් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් බලාපොරොත්තු ඇති කරමින් අලුත් නායකත්වයක් යටතේ වෙනස් ගමනක් යන්නට අවකාශ ලැබෙන තරග තුනකින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයට එරෙහිව අද ඇරැඹෙන්නේ අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙනි.

එක්දින තරගාවලියෙන් 5-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලද අන්ත පරාජයෙන් පසුව ඇති වූ මානසික පසුබෑමත් ලාහෝර්හි 29දා පැවැත්වීමට නියමිත තුන්වැනි විස්සයි-20 තරගයට සහභාගි නොවන බවට බොහෝ ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් දක්වන ප්‍රතිචාරයත් හේතුකොටගෙන මෙම තරගාවලියට මුහුණදීමේදී ශ්‍රී ලංකාවට බාධක මතු වී ඇත. එහෙත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් නව යොවුන් කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව පිටියට පිවිසීම මඟින් ප්‍රතිවාදීන්ටද යම් අපහසුතාවකට මුහුණදීමට ඉඩ ඇත. හේතුව සුපුරුදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙනුවෙන් සැලසුම් කළ බොහෝ දේවල් සත්කාරක පාකිස්තානුවන්ට වෙනස් කිරීමටද සිදුවන බැවිනි.

තවත් පැත්තකින් බැලූ විට 2009 වසරින් පසුව ටෙස්ට් තත්ත්වය ලැබූ ඉහළ පෙළේ ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරනු ලබන ප්‍රථම වතාව මෙය බැවින් පාකිස්තානු කණ්ඩායම තම රටේදී වසර 8කට පසුව තම රටේම ප්‍රේක්ෂකයන් හමුවේ තරග වදින ප්‍රථම තරගය කෙසේ හෝ දිනා ගැනීමේ අධි බලාපොරොත්තුව ඔවුන්ට පීඩනයක් ගෙන දිය හැකිය. එහෙත් මෙම අවාසිය පාකිස්තානයට ඇත්තේ අද සහ හෙට අබුඩාබිහිදී පැවැත්වෙන තරග දෙකේදී නොව 29දා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිත 3 වැනි තරගයේදීය.

එබැවින් විස්සයි-20 තරගාවලියද ජය ගැනීම සඳහා ඔවුන් අද සහ හෙට (27දා) පැවැත්වෙන තරග දෙකේදී එක්දින තරගාවලියේ කළ ආකාරයටම පිට පිට ජය ගන්නට උත්සාහ දරනු ඇත. එහෙත් විස්සයි-20 තරග රටාව අනුව වෙනස් යමක් කරන්නට හැකි පිරිසක්ද තිසර පෙරේරා සතුව ඇති බවද පෙනේ. ඒ අනුව පාකිස්තාන පන්දු යවන්නන්ට එක්දින තරගාවලියට වඩා වෙනස් ආකාරයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථකව මුහුණදුනහොත් තිසර මෑතකදී ලද අත්දැකීම් අනුව යහපත් ප්‍රතිඵලයක් ලංකාවට උදා කරගත හැකිය.

කෙසේ වෙතත් මෙම දෙරට අතර පවත්වා ඇති විස්සයි-20 තරග 15න් 10ක්ම ජයගෙන ඇත්තේ පාකිස්තානයයි. ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පවත්වා ඇති තරග 3න් 2ක්ම ශ්‍රී ලංකාව පරාජය වී ඇත. ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව එහිදී පැවැති තරගවලින් ජයගෙන ඇත්තේ 2013දී ඩුබායිහිදී පැවැති තරගය පමණි. අද හා හෙට තරග දෙක පැවැත්වෙන අබුඩාබි ක්‍රීඩාංගණයේදී මින් පෙර පැවැති එකම තරගයද ශ්‍රී ලංකාව පරාජය වී ඇත. තවද ශ්‍රී ලංකාව හා පාකිස්තානය විස්සයි-20 තරගයක් සඳහා මින් පෙර පාකිස්තානයේ මුණගැසී නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon