හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ටත් ලිංගික අතවර චෝදනා

  👤  1997 readers have read this article !
Published by : MB WEB 2017-10-26 15:02:59

තමන්ට ලිංගික අපහාසයක් කළ බවට චෝදනා කරන නිළියකගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) සමාව ඉල්ලා තිබේ.

93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් "ස්පර්ශ කළ" බවට හෙදර් ලින්ඩ් (Heather Lind) චෝදනා කරයි.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ එම චෝදනාව එල්ල කළ ඇය පසුව එම සටහන මකා දමා තිබේ.

හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ විහිළුවක් කිරීමට උත්සාහ කළ බව ඔහුගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

"ජනාධිපති බුෂ් කිසිදු අවස්ථාවක - කුමන තත්වයක් යටතේ වුවත් - කිසිවෙකුටත් දැනුවත්ව සිත් තැවුලක් ඇති නොකරන" බව පවසන ප්‍රකාශකයා, "විහිළුවක් කිරීමට ඔහු දැරූ උත්සාහය මගින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක් වූයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින" බව ද ප්‍රකාශකයා විසින් ඩේලි මේල් (Daily Mail) පුවත්පත, පීපල් (People) සඟරාව ඇතුළු ප්‍රකාශන වෙත නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

හෙදර් ලින්ඩ් නිළිය සිය චෝදනාව ඇතුළත් ඉන්ස්ටග්‍රෑම් පණිවුඩය මකා දැමීමට ප්‍රථම එම ප්‍රකාශන දෙක විසින් එහි පිටපත් ලබාගෙන තිබේ.

1989 සිට 1993 දක්වා එක් ධුර කාලයක් පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙබවූ ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ්, 2001 සිට 2009 දක්වා දෙවතාවක්ම ජනපති පදවිය දැරූ ජෝර්ජ් ඩබ් බුෂ්ගේ පියාය.

මේ වන විට පාකින්සන් (Parkinson) රෝගයෙන් පෙළෙන ඔහුට ඔබ මොබ යාම අපහසු බැවින් රෝද පුටුවක් භාවිත කරයි.

'ටර්න්: වොෂින්ටන් ස්පයීස්' නම් රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පැවති උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා තමන්ට එම අතවරය කළ බවට හෙදර් ලින්ඩ් චෝදනා කරයි.

ඇය එම රූපවාහිනී වැඩසටහනේ ප්‍රධාන නිළියකි.

හරිකේන් කුණාටුවලින් විපතට පත් වූවන වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයකදී හිටපු ජනාධිපති බරක් ඔබාමා හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ අතින් අල්ලා ගෙන සිටින අවස්ථාව දුටු අවස්ථාවේ තමන් කමපනයට පත් වූ බව ඇය පවසයි.

"මමත් ඒ වගේම ෆොටෝ එකකට පෙනී හිටපු වෙලාවේ එයා මට ලිංගික අතවර කළා. එයා මට අතට අත දුන්නේ නෑ. ඒ වෙනුවට එයාගේ බිරිඳ බාබරාත් ලඟින් ඉන්න අතරේ පිටිපස්සෙන් අත දාල මාව ස්පර්ශ කළා," ඇය සිය පණිවුඩයේ සටහන් කොට තිබුණු බව ඩේලි මේල් පත්‍රය පවසයි.

"එයා මට කැත විහිළු කළා. ඊට පස්සේ අපි ෆොටෝ එකක් ගන්න කොට එකපාරටම ආයෙත් මාව ස්පර්ශ කළා."

(BBC)

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon