ලංකාව පරාජය වුවත් ලාහෝර් ගමන ගැන හෂාන් හා මලික් සතුටින්

  👤  1822 readers have read this article !
Published by : MB WEB 2017-10-31 12:31:13

පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩා පිටිය 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ක්‍රීඩා පිටිය බැවින් තමන්ට මෙම ක්‍රීඩා පිටියට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු චකිතයක් නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න පවසා ඇත.

හෂාන් මේ බව පැවැසුවේ දෙරට අතර පළමු වරට පැවැති විස්සයි-20 තරගයෙන් පසුව ඔහු මුහුණ දුන් විශේෂ මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ තිලකරත්න "1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ මෙම ගඩාෆි ක්‍රීඩාංගණය අපි කාටවත් කිසිදාක අමතක කරන්න බැහැ. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානයේ ක්‍රීඩා ලෝලීන් අපිට ලබා දුන් ජයඝෝෂා මට අද වගේ මතකයි. ඒ මතකය තියාගෙන තමයි අදත් මම මේ ක්‍රීඩාංගණයට පය තිබ්බේ. ක්‍රීඩාංගණයේ ලොකු වෙනසක් වෙලා නැහැ. එදා තිබූ පරිදිම අදත් තියෙනවා".

"කොහොම වුණත් ඔවුන් (පාකිස්තානය) එදා අපට ලබා දුන් උපකාරවලට ප්‍රතිඋපකාර කිරීමට මේක තමයි හොඳම අවස්ථාව. 1996 වසරේදී මහ බැංකු බෝම්බ පිපිරුණු සිද්ධියේදී ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අපේ රටට එන්න අකැමැති වුණු අවස්ථාවේදී පාකිස්තානය, සිම්බාබ්වේ හා කෙන්යාව අපේ රටට ආවා. ඒ වගේම 1987 වසරේදීත් ඇතිවූ බෝම්බයක් පිපිරීමේ සිද්ධියකදීත් නවසීලන්තය ආපසු ඔවුන්ගේ රටට ගියා. ඒ සිදුවීමෙන් වසර 5ක් යනතුරු ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කළේ නැහැ. අපට අත්වූ ඒ සිදුවීම අද පාකිස්තානයට වෙලා තියෙනවා. ඔවුන්ට අද අපි සහයෝගය ලබා දිය යුතුයි" යනුවෙන්ද හෂාන් තිලකරත්න කීය. මේ අතර ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි-20 තරගය පාකිස්තානයේ පැවැත්වීමෙන් තම රට පිළිබඳව ලෝකයෙන් එපිටට යහපත් පණිවිඩයක් ලබා දුන් බව ශ්‍රී ලංකා-පාකිස්තාන විස්සයි-20 තරගාවලියේ වීරයා මෙන්ම අවසන් තරගයේ වීරයා බවටද පත්වූ ෂොයිබ් මලික් පැවැසීය.

එහිදී අදහස් දැක්වූ මලික් මෙසේද පැවැසීය. "මෙම තරගය කිසිදු අපහසුවකින් තොරව පැවැත්වීමෙන්ම පෙනී යනවා පාකිස්තානයේ ක්‍රිකට් තරග පැවැත්වීමට කෙතරම් හොඳ ආරක්‍ෂාවක් තියෙනවද කියලා. මෙය පාකිස්තානයේ ක්‍රිකට්වලට ඉතා හොඳ තත්ත්වයක්. එයින් ලෝකයට හොඳ පණිවිඩයකුත් ලැබෙනවා. ඔබ තමන්ගේ රටෙන් පිට ක්‍රීඩා පිටියක සෙල්ලම් කරන කොට දැනෙන ආකල්පයට වඩා සතුටුදායක හැඟීමක් තමන්ගේම රටේදී ලැබීමට හැකියාවක් මෙහි තියෙනවා. ඒ හැඟීම මට විස්තර කරලා දෙන්න බැහැ. කොහොම වුණත් යළිත් මගේ මව්බිමේ ක්‍රීඩා කිරීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් හැමදෙනාටම ස්තුති කරනවා" යනුවෙන්ද සඳහන් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon