මේ රට කැබලිවලට කඩා වෙන්කර සංහිඳියාව ඇති කරන්න බැහැ

  👤  1903 readers have read this article !
Published by : MB WEB 2017-10-31 12:52:03

මේ රට කැබලිවලට කඩා වෙන්කර රටේ සංහිඳියාව ඇති කළ නොහැකි බවත්, මේ රටේ සංහිඳියාවක් නැතිනම් වසර ගණනාවක් සියලු ජනකොටස් එක්ව ජීවත් වූයේ කෙසේදැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ සඳහන් කළේ 29 වැනි දින මහනුවර පැවැති "එළිය අපේක්ෂාවෙන් දල්වන්නට" යන මැයෙන් වූ රැස්වීමක් අමතමිනි.
වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මෙම එළිය සංවිධානය ආරම්භ කළේ පවතින නව ව්‍යවස්ථාව රටට ගෙන එන්න එපා කියන කාරණය කියන්නයි. මෙය කිසිදු ජාතිවාදී සංවිධානයක් නොවේ. එය සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වල රටට ආදරය කරන පිරිසක් එක්ව ආරම්භ කළ සංවිධානයක්.

මේ රටේ ආණ්ඩු කිහිපයක් යටතේ වසර තිහක යුද්ධයක් පැවතුණා. යුද්ධයෙන් ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ කියන මතයක් ගෙනා දේශීය හා විදේශීය වශයෙන් එදා ආණ්ඩුවට ඒ පිළිබඳ බලපෑම් කළ එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාවට නොවෙයිද අද මේ ව්‍යවස්ථාව ගෙන එන්න යන්නේ.

අප රටේ සියලු ජන කොටස්වලට මේ රට තුළ ගෞරවනීය පුරවැසියකු ලෙස ජීවත් වීමට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අහිමි කිරීමට මේ රටේ කිසිදු සිංහල පුරවැසියෙක් විරුද්ධ වන්නේ නැති බව අප දන්නවා. වසර ගණනාවක් අප එකට ජීවත් වී තිබෙනවා. කිසිවෙක් ඒ සඳහා විරුද්ධ වී නැහැ.

1983 ජූලි කලබල මේ ප්‍රදේශ වල ඇති වුණා. සිංහල ජනතාව බලාපොරොත්තු නොවූ අකාරයට හමුදාවේ 13 දෙනකු මියයෑම නිසා ඒ තත්ත්වය ඇති වුණා. ඊට පසුව කොබ්බෑකඩුව, විමලරත්නයන් වැනි වීරයන් මියයද්දී, මුලතිව්වල අලිමංකඩ දහස් ගණනක් මිය යද්දී සොල්ාදාදුවන්ගේ මළ සිරුරු මේ පළාත්වලට එනවිට අපේ සිංහල ජනතාව පසුව ඒ ආකාරයට ක්‍රියාත්මක වුණේ නැහැ.

සංහිඳියාව කියන මුවාවෙන් නව ව්‍යවස්ථාවක් ගෙනත් ඒ භීෂණය නැවතත් ගෙන එන්න මේ සූදානම් වන්නේ? අප යුද්ධය අවසන් වූ විට අප උතුරු ප්‍රදේශයට විශාල ලෙස මුදල් ප්‍රමාණයක් යොදවා ඒ ප්‍රදේශ සංවර්ධනය කළා. විදුලිය, මහාමාර්ග, දුම්රිය මාර්ග ඇති කරන ගමන් ඒ ප්‍රදේශවල අප ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා. අද ඒ අය ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ බෙදුම්වාදී දේශපාලනඥයන් මේවා ගැන කතා කරන්නේ නැහැ. වසර තිහක් තුළ යාපනයේ තිබූ නිවාස සහ බිම් කොටස් හමුදාව යටතට ගෙන තිබුණේ. අප ඒ වන විට ඒ භූමිය සියයට අනූ පහකට වඩා ඒ අයිතිකරුවන්ට ලබා දුන්නා. අප පෞද්ගලික අංශයට ආරාධනා කළා ඒ ප්‍රදේශවලට ගොස් කර්මාන්ත ඇති කරන්න කියලා. අප එදා සංහිඳියාව වෙනුවෙන් ඒ කටයුතු කළා. ඒවා දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ට අවශ්‍ය දේවල් නොව සාමාන්‍ය දෙමළ වැසියන්ට අවශ්‍ය දේවල්. යුද්ධය පවතින කාලෙ පවා රුහුණු විශ්වවිද්‍යාලයේ දෙමළ දරුවන් අධ්‍යාපනය ලැබුවා.

ටී.එන්.ඒ. එක්තරා ප්‍රබල මන්ත්‍රිවරයෙක් කියා තිබුණා මේ රටේ සියලු දේ සිදුවන්නේ මේ රටේ බහුතරයේ අදහස් අනුවයි කියලා. නමුත් ඔහුට අමතක වී තිබෙනවා පසුගිය මැතිවරණයේදී බහුතරයක් සිංහල ප්‍රදේශවල ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතා බව. නමුත් දෙමළ, මුස්ලිම් සුළුතරයක් ඉන්න ප්‍රදේශවල යම් යම් හේතූන් නිසා ජයගත්තේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුම යි. එම මැතිවරණයේ තීරණාත්මක ඡන්දය තිබුණේ ඔවුන් අතේ. එසේ නම් කොහොමද මෙය බහුතරයේ අවශ්‍යතාවට පමණක් සීමාවන ව්‍යවස්ථාවක් වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව බහුතරය කියන්නේ ජනවාර්ගික බහුතරය නොව බහුතරයේ මතය අනුවයි. එයයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
ඒ නිසා අප මේ ආණ්ඩුව, මහා සංඝරත්නය ඇතුළු සියලුදෙනා ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාදාමය වහා නතර කරන්න කියලයි.

මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon