හොඳ නරක දෙකම තිබුණා

  👤  360 readers have read this article !
Published by : MB WEB 0000-00-00 00:00:00

ඡායාරූපය _ නුවන් අමරවංශ

විචිත්‍ර වීරසිංහ

පාකිස්තානය සමඟින් පසුගියදා නිමාවට පත්වූ ටෙස්ට්, එක්දින හා විස්සයි-20 ක්‍රිකට් තරග ආකෘති තුනේදී ඇතිවූ ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයන් තිදෙනාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ (31දා) මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, එක්දින නායක උපුල් තරංග හා විස්සයි-20 නායක තිසර පෙරේරා යන තිදෙනා එක්ව සිටි අතර, එහිදී චන්දිමාල් හා තිසර පෙරේරා තමන්ගේ කණ්ඩායම පිළිබඳව ප්‍රශංසා කළද එක්දින නායක උපුල් තරංග පැවැසුවේ තම කණ්ඩායමේ පිතිකරණ අංශය පිළිබඳව තමන් සෑහීමට පත් නොවන බවය.

"අපිට මෙයට වඩා තරගාවලිය හොඳින් කරන්න තිබුණා. ඒත් අපේ පිතිකරුවන් තමන්ගේ වගකීම හරියට තේරුම් ගත්තේ නැහැ කියලා මට හිතෙනවා. එක්දින තරගාවලිය ආරම්භයට පෙර පුහුණුකරුවන් ඇතුළුව කණ්ඩායමේ සියලුම දෙනා එකතු වෙලා සාකච්ඡා කරනවා කොහොමද තරගාවලියට මුහුණ දෙන්නේ කියලා.

එතැනදීත් කණ්ඩායමේ සියලුම දෙනාට තමන්ගේ වගකීම පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා. ඒත් තරග පහ තුළම අපේ සැලසුම් සාර්ථක වුණේ නැහැ. ඒත් අපේ පන්දු යවන්නන් ඉතාමත් හොඳින් ඔවුන්ගේ කාර්යය ඉටු කළා. කොහොම වුණත් පාකිස්තානය කියන්නේ මේ වසරේ එංගලන්තයේදී පැවැති චැම්පියන්ස් කුසලානය දිනාගත් කණ්ඩායම. ඔවුන්ගේ පන්දු යැවීම, පන්දු රැකීම හා පිතිකරණ යන තුන් ඉරියව්වෙන්ම ඉහළ මට්ටමක ඉන්න කණ්ඩායමක්" යනුවෙන්ද තරංගගේ අදහස විය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් තම සගයන් පිළිබඳව මහත් අභිමානයෙන් කතා කළේය. "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අපි ටේස්ට් තරගාවලියක් හොඳින් කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එතැනදී මම මගේ ක්‍රීඩකයන්ට මුළු ලකුණු ප්‍රමාණයම දෙනවා. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි ආකාරයට ඉටු කළා. අපි මේ ලබාගත් ජයග්‍රහණය ඉතාමත් ඉහළ එකක්. ඒත් ටෙස්ට් තරගාවලියේදී ලකුණු අතර ඉඳලා එක්දින තරගාවලියේදී ලකුණු අතරට එන්න බැරි වුණ එක ගැන විශාල කනගාටුවක් මට තියෙනවා. මෙයට වඩා දෙයක් මට කණ්ඩායම වෙනුවෙන් කරන්න තිබුණා" යනුවෙන්ද චන්දිමාල් ප්‍රකාශ කළේය.

මේ අතර චන්දිමාල්ගේ ජයග්‍රාහී මානසිකත්වයටම සමාන මානසිකත්වයක පසුවන තිසර පෙරේරාගේද අදහස වී තිබුණේ තමන්ට ලැබී තිබූ කණ්ඩායම ඉතාමත් තරුණ කණ්ඩායමක් වුවත් ඔවුන් ඉතාමත් ඉහළ මට්ටමක පසුවූ බවය. "මට ලැබී තිබූ කණ්ඩායමේ විස්සයි-20 තරග 10කට වඩා සහභාගි වෙලා තිබුණේ තුන් දෙනෙක් පමණයි.

ඒත් ඔවුන් දැක්වූ දක්‍ෂතා ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. ඉතාමත් තරුණ ක්‍රීඩකයන් වුණත් ඔවුන් මෙවැනි පරිණත බවකින් ක්‍රීඩා කරනවා දැක්කම මටත් පුදුම හිතුණා. අපේ කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ට අත්දැකීම් මදිකම නිසයි දෙවැනි තරගය අපෙන් ගිලිහුණේ" යැයි පැවැසූ තිසර, පාකිස්තානයට යෑමට පෙර ආරක්‍ෂාව පිළිබඳව ඔවුන් (විස්සයි-20 කණ්ඩායමේ ක්‍රීඩකයන්) තමාගෙන් විමසූ බවත්, තමන් එයට ලබා දුන් පිළිතුරුවලින් ඔවුන් 100%ක්ම සෑහීමට පත්වූ බවය.

"පාකිස්තානයෙන් අපට ලැබුණු ආරක්‍ෂාව සම්බන්ධයෙන් මමත්, කණ්ඩායමේ අනෙක් සියලු දෙනත් විස්මිත තත්ත්වයකට පත්වෙලයි හිටියේ. එය ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. මින් පෙර කිසිදු අවස්ථාවක මමවත්, කණ්ඩායමේ අනෙක් අයවත් ඒ වගේ ආරක්ෂාවක් ලබලා නැහැ"

කෙසේ වුවත් එසේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස්ගේ නිගමනය වූයේ තම සගයන්ගේ පන්දුයැවීම ලෝකයේ අනෙක් කණ්ඩායම්වලට සමාන මට්ටමක පැවැති නමුත් පිතිකරුවන් සම්බන්ධයෙන් තමන් ඉතාමත් කනගාටුවට පත්වන බවය.

මෙයට පෙර ආබාධ තත්ත්වයේ පසුවූ ඇන්ජිලෝ මැතිව්ස්, අසේල ගුණරත්න හා කුසල් ජනිත් මේ වනවිට සම්පූර්ණ සුවයක් ලබා ඇති බැවින් ඉදිරි ඉන්දීය සංචාරය සඳහා ඔවුන් එක්වනු ඇති බවත්, මේ වනවිට පුරප්පාඩු වී ඇති ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නික් පෝතාස් ඇතුළුව සිවු දෙනකු පිළිබ¼ඳව දැනට අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය. "ඒ හතර දෙනාම දැනට රාජකාරි කටයුතුවල යෙදිලා ඉන්න නිසා ඔවුන්ගේ නම් සඳහන් කරන්න අපහසුයි. හැම පැත්තෙන්ම හොඳ කෙනෙක් සොයාගත යුතු නිසා මේ කරුණ ටිකක් කල් යාවි" යනුවෙන්ද අෑෂ්ලි ද සිල්වා මහතා කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon