ලිංග භේදය මත මුදාහැරෙන ප්‍රචණ්ඩත්වයට විරෝධය පෑ රූ රැජින තරගයක්

  👤  2042 readers have read this article !
Published by : MB WEB 2017-11-02 14:04:03

රූප රැජින තරගයක සම්ප්‍රදාය බිඳහෙළමින්, සිය සිරුරේ ප්‍රමාණ ඉදිරිපත් කරනු වෙනුවට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගෙන හැර පෑ තරගකාරියන් පිරිසක් පිළිබඳ දකුණු ඇමෙරිකාවේ පෙරූ රාජ්‍යයෙන් වාර්තා වේ.

එය සිදුවුයේ පෙරූ හි විශ්ව රූ රැජින (Peru's Miss Universe pageant) තරගයේදීය.
තරගයේ සංවිධායකයින් ද මේ තරගකාරියන් සමග එක්වුයේ ලිංග භේදය පදනම්ව එල්ලවූ ප්‍රමුඛ පෙළේ ප්‍රහාර පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කරමිනි.
තරගයට එක්වූ රූ රැජිනන් 23 දෙනා නොවැම්බර් මාසයේ ඇමෙරිකාවේ ලස් වේගස් හි පැවැත්වෙන විශ්ව රූ රැජින තරගය සඳහා සුදුසුකම් ලැබීමේ අරමුණ ඇතිව මේ සඳහා සහභාගී වී ඇත.
ලිංග භේදය පදනම්වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පසුගිය වසරේදී කාන්තාවෝ දහස් ගණනක් පෙරුහි වීථි බැස විරෝධතා පා ගමනක යෙදුණාහ.

"විනාඩි 10 වරක් තරුණියක් මරුට"
මෙම රූ රැජින තරගයේ තරගකාරියන් සිය උඩුකය, බඳ සහ උකුළ ප්‍රමාණය වෙනුවට කියැවුයේ තැතිගන්වන සුලු දත්තය.
පෙරු රාජ්‍යය තුළ සිදුවන ලිංගික සූරාකෑම හේතුවෙන් සෑම මිනිත්තු 10ට වරක් තරුණියක් මිය යන බව එක් තරගකාරියක පැවසුවාය.
තවත් තරගකාරියක කියාසිටියේ කාන්තාවන්ගෙන් 70% වැඩි ප්‍රමාණයක් මහමග හිරිහැරයට ලක්වන බවය.
සම්ප්‍රදායික රූ රැජින තරගයක් නැරඹීමේදී ලබන සරල වින්දනය අපේක්ෂා කළ ප්‍රේක්ෂයකයන්ව, රූපවාහිනියෙන් විකාශනය කළ මෙම තරගයෙන් සසල කෙරිණි.
"අවාසනාවකට වගේ, මේ ගැන නොදන්නා බොහෝ කාන්තාවන් හිතන්නේ මේවා හුදෙකලා සිදුවීම් කියලයි," තරගයේ සංවිධායිකා ජෙසිකා නිව්ටන් ඒඑෆ්පී පුවත් සේවයට පැවසුවාය.
"මම හිතන්නේ ඔබේ ප්‍රදේශය නියෝජනය කරමින් ඉදිරිපත් වන රූ රැජිනන් අපේ රටේ සිදුවන්නේ මොනවාදැයි යන්න ගැන ඉදිරිපත් කරන දත්ත තැතිගන්වන සුලුයි"
තරගය ආරම්භයේදී එක්වූ තරගකාරියන් 150 දෙනාගෙන් 5 දෙනෙකුම දූෂණය ඇතුළු ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන් බව ඇය සඳහන් කළාය.
තරගය අවසානයේදී ඔවුන් වෙත යොමු කෙරුනේ විනෝදාංශ සහ බලාපොරොත්තු විමසන සරල ප්‍රශ්න වෙනුවට ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඔවුන් ගන්නා පියවර විමසන ප්‍රශ්නය.
රෝමිනෝ ලොසානෝ තරගයේ ජයග්‍රාහී රූ රැජින වූ අතර කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ තත්ත්වය පෙන්වමින් නොවැම්බර් මාසයේදී ලීමා අගනුවර පාගමනක් යෙදීමට තරගකාරියෝ බලාපොරොත්තු වෙති.

ඇමෙරිකානු රටවල සංවිධානයට අයත් පුරවැසි ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂනායතනයට අනුව, දකුණු ඇමෙරිකාවේ රටවල් අතරින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පෙරු දෙවෙනි වන්නේ බොලිවියාවට පමණි.
2015 දක්වාවූ වසර හයක් තුළදී ලිංග භේදය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන් 800ක් ඝාතනයට ලක්ව ඇති බව පෙරු ආණ්ඩුව පවසයි.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වළකාලීමටත්, ඊට අදාළව දඬුවම් දීමටත් හැකිවන පරිදි 2015 වසරේදී නීතියක් පැනවූ පෙරු කොංග්‍රසය කාන්තාවන් වෙනුවෙන් ආවරණයක් මෙන්ම තාවකාලික රැඳවුම් ස්ථාන ද සලසාලීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon