ලෝක බෞද්ධ මහා සම්මේලනය ඇරඹේ

  👤  1600 readers have read this article !
Published by : MB WEB 2017-11-02 16:23:20

07 වැනි ලෝක බෞද්ධ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02)අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

අදින් ආරම්භ වන මෙම සම්මේලනය ලබන 07දා දක්වා පැවැත්වෙන අතර මේ සඳහා රටවල් 47ක නියෝජිත පිරිස් සහභාගිව සිටිති. මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.

මෙම අවස්ථාවට සමඟාමීව 07වැනි ලෝක බෞද්ධ සමුළුව වෙනුවෙන් සමරු තැපැල් මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු විය. මෙහිදී පළමු මුල්දින කවරය තැපැල් , තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වෙත භාරදුන් අතර එතුමා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝකයේ උත්තරීතර බෞද්ධ නායකයින් වෙත පිළිගැන්වීම සිදු විය.

එමෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙහිදී බෞද්ධ නායකයින් වෙනුවෙන් සමරු බුද්ධ පත්‍රිමා වහන්සේ පිළිගැන්වීම සිදු කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විසින් රචිත බෞද්ධ ඉතාහිස ග්‍රන්ථය පිළිගැන්වීම ද සිදු විය.

කරුණාව, ප්‍රඥාව මත පදනම් වූ බුදුදහමක් ලෝකයා වෙත දායාද කරමින් මිහිදු හිමියන් ලංකාවට බුදු දහම රැගෙන පැමිණීමෙන් අනතුරුව වෙනත් රටවල් සඳහා ද බෞද්ධ දර්ශනය පැතිරුණු බවත් සංඝමිත්තා තෙරණිය විසින් ලංකාවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළ අතර ලෝකයේ ම පැරණිතම බෝධීන් වහන්සේ වැඩසිටින්නේ ශ්‍රී ලංකාවේ බවත් බෞද්ධ සමුළුවේ සභාපති, මොන්ගෝලියානු බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන ලාමා වන අති උතුම් කම්බා ලාමා ලබ්ජු චොයිජාම්ටස් දෙම්බරෙල්තුමා පැවසූහ.

බුද්ධගයාව විනාශයට පත් ව තිබූ කාලයක අනගාරික ධර්මපාලතුමා විසින් එය නවීකරණය කරමින් කළ සේවයට මුළුමහත් බෞද්ධ ජනතාවගේ ම ගෞරවාදරය හිමි වූ බවත් මේ වන විට බුදුන්ගේ ආභාෂය මුළු ලෝකය වෙත ප්‍රචලිත වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මෙම අවස්ථාවට දේශපාලන නියෝජිත පිරිස් ඇතුළු බෞද්ධ නායකවරු ඇතුළු විදේශ නියෝජිත විශාල පිරිසක් සහභාගි වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon