බාල තෙල් චෝදනාව ප්‍රතික්ෂේප කරනවා

  👤  2637 readers have read this article !
Published by : MB WEB 2017-11-06 13:51:17

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

2011 වසරේදී තමා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් සිටියදී බාල තෙල් ආනයනය කිරීමෙන් රටට අලාභයක් සිදු වූ බවට එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

එක්තරා දේශපාලන නායකයකුගේ උපදෙස් පරිදි තමාට මඩ ගැසීමේ මෙහෙයුමක් සිදුවන බවත් බාල තෙල් ආනයනය කරමින් රටට අලාභයක් සිදුකළ බවට කරනු ලබන චෝදනාව එම මඩ මෙහෙයුමේ කොටසක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2011 වසරේදී තමාත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවකට සිටි සභාපතිවරයාත් රටේ නොමැති අවස්ථාවක බාල තෙල් ආනයනය කිරීමේ කාරණයක් සම්බන්ධයෙන් එවකට සිටි අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, තෙල් සංස්ථාවේ වාණිජ කළමනාකරුගේත් වැඩ තහනම් කළ බවත් ඔවුන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරූ බවත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එම බාල තෙල් ලබාදුන් සමාගම විසින් තෙල් සංස්ථාවට සිදු වූ අලාභය ලබාදුන් බවත් එම තෙල් හේතුවෙන් කාර්මික දෝෂයට ලක් වූ සියලුම රථ වාහනවලට වන්දි ගෙවීමටද කටයුතු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) ද මෙම ගැටලුව ගැන සාකච්ඡා කළ බවත් එම ගැටලුව විසඳීම ගැන එම කමිටුවද සෑහීමකට පත් වූ බවත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon