පුංචි ඡන්දයට බය නැහැ: අත ලකුණින් අපි ගම දිනනවා

  👤  2367 readers have read this article !
Published by : MB WEB 2017-11-07 11:15:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීම සඳහා කිසිදු බියකින් සැකයකින් තොරව මැතිවරණයට සූදානම් වී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පැවැසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජාංගණය ප්‍රදේශයේ ධීවරයන් සඳහා ධීවර ආම්පන්න බෙදාදීමේ අවස්ථාවට එක් වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය. පසුගිය ආණ්ඩුව වගේම වත්මන් ආණ්ඩුවත් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න. පාර හැදුවට, වතුර - ලයිට් දුන්නාට පමණක් බෑ. ජනතාවත් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න කටයුතු කළ යුතු වෙනවා.

ආණ්ඩුවේ ප්‍රතිලාභ ගමට ගෙන්වා ගත හැකි වෙන්නේ ආණ්ඩුවේ නියෝජිතයකු හරහායි. ජනවාරි මාසයේ අග භාගයේ මැතිවරණය තියලා අපි ගමට මන්ත්‍රිවරයෙක් තෝරනවා.

ගමට මන්ත්‍රිවරයෙක් පත් වුණාම ඔහු හරහා ගම සංවර්ධනය කර ගත හැකි වෙනවා. ගමට මන්ත්‍රිවරයෙක් හදා ගන්න කොට ජනතාව කල්පනා කළයුතු කාරණයක් තිබෙනවා.

ගමට මන්ත්‍රිවරයෙක් පත් කර ගන්නා විට ගමට වැඩ කරන පුද්ගලයෙක් පත් කර ගත යුතුයි. එහෙම නම් ඔහු බලය තිබෙන ආණ්ඩු පක්ෂයේ කෙනෙක් විය යුතුයි. බලය තියෙන පැත්තේ නොවන කෙනෙක් හදා ගත්තොත් මන්ත්‍රිවරයාට වැටුප ලැබෙයි. හැබැයි ඒ මන්ත්‍රිවරයාගෙන් ගමට වැඩක් කරගන්න ලැබෙන්නේ නෑ.

එහෙම නම් ගමේ මන්ත්‍රිවරයා බවට පත් කර ගත යුත්තේ ආණ්ඩුවේ බලය තිබෙන, ඉදිරියට බලය ලබා ගත හැකි පක්ෂයේ මන්ත්‍රිවරයකුයි. එවිට ආණ්ඩුවේ ජනාධිපතිතුමන්ගේ රජයේ වැඩ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රිවරයා හරහා ගමට ගෙන ආ හැකියි. ඒ මැතිවරණයේදී වැරැදි තීන්දු අරන් පසුව පසු තැවෙන්න එපා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම්. අපේ සියලුම අපේක්ෂක මහතුන් මැතිවරණයට සූදානම් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා අත ලකුණින් ජයග්‍රහණය කිරීම සඳහා කිසිදු බියකින් - සැකයකින් තොරව සූදානම් වෙලා සිටිනවා.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon