ක්‍රීඩාවේ ඉදිරි සංවර්ධනයට යුද හමුදාවේ සහාය

  👤  1061 readers have read this article !
Published by : MB WEB 2017-11-09 14:00:19

නව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහ ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතර හමුවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු විය.

එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ක්‍රියාවට නංවන ක්‍රීඩා සංවර්ධන කටයුතු රැසක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබාදීමට නව යුද හමුදාපතිවරයා කැමැත්ත පළ කර සිටියේය.

මේ යටතේ අවම වියදමකින් හා උපරිම උසස් තත්ත්වයෙන් දියගම ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු සිදු කිරීමටත් එහි නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමටත් තීරණය විය. එමෙන්ම කිලිනොච්චි නගරයේ ඉදිවෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා සංකීර්ණයේ වැඩ නිම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ඉන්ජිනේරු බළකායක දායකත්වය ලබා ගැනීම හා හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේවා මූලස්ථානය වෙත පැවැරීමටත් සාකච්ඡා කෙරිණි.

2018.03.01 දිනට යෙදී ඇති ප්‍රථම ශ්‍රී ලාංකික ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් ඩන්කන්වයිට් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරික සැමරුම වෙනුවෙන් එතුමා පදිංචිව සිටි මහනුවර පිහිටි නිවෙස ප්‍රතිසංස්කරණය කිරීමටද ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබාදීමට නව යුද හමුදාපතිවරයා කැමැත්ත පළ කළේය.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටින ජාතික සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දීර්ඝකාලීනව සංචිතය තුළ පුහුණුව සඳහා පූර්ණකාලීන ලෙස නිදහස් කර ගැනීම, සංචිත සඳහා අලුතින් තෝරා ගනු ලබන දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් යුද හමුදාවට බඳවා ගැනීමට සලකා බැලීම, යුද හමුදා ක්‍රීඩා සංකීර්ණ හා යටිතල පහසුකම් පළාත් හා ජාතික සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම සඳහා භාවිත කිරීමට යෝග්‍ය වැඩපිළිවෙළක් සැකසීම, යුද හමුදා සාමාජිකයන් අතුරින් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා හැකියාවන් හා විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හා ක්‍රීඩා සංගම් වෙත අවස්ථාව ලබාදීම, ක්‍රීඩා හා ශාරීර සුවතා වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දීම සහ ක්‍රීඩා ශක්ති ඉදිරි දැක්ම ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා යුද හමුදාවේ සහාය ලබාදීම පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්