ජනතාව අප විශ්වාස කළේ වෙනසක් බලාපොරොත්තුවෙන්

  👤  1371 readers have read this article !
Published by : MB WEB 2017-11-13 13:49:28

පසුගිය කාලේ මේ රටේ සුළු ජාතීන් නොසලකා හැරි බවත්, මැර බලය හේතුවෙන් දෙමළ ජනතාව පමණක් නොව සිංහල ජනතාවද ඡන්ද මධ්‍යස්ථානයට ගියේ අමාරුවෙන් බවත් අධිකරණ සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

පිබිදෙන නිවිතිගල ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ අබලන්ව තිබූ හොරකදවල රතු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරිය මේ අදහස් පළ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරල මහත්මිය,

දෙමළ, සිංහල, මුස්ලිම් භේදයක් නැතිව සියල දෙනාටම එකට ජීවත් වෙන්න ඕනි. ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමේ වගකීම මේ ආණ්ඩුවට තියෙනවා.

අද අපි කිසිම කෙනෙක් ජාතිය, ආගම නිසා බෙදලා වෙන් කරන්නේ නෑ. අපි සියලු දෙනා එකට ඉන්න ඕනි. එකට වැඩ කරන්න ඕනි. මනුෂ්‍යයන් හැටියට ජීවත් වෙන්න ඕනි.

ගෝත්‍රිකයො හැටියට ඉන්න බෑ. පසුගිය කාලේ එක පවුලක් රජ කරගෙන රජ පවුලට වැඳගෙන හිටිය යුගය ඇතැම් අයට අමතක වෙලා තියෙනවා. යළි පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලනවාලු. මිනිස්සු මාව ප්‍රතික්ෂේප කළා නම් මම නම් ගෙදර යනවා.

අද හොරකම, නාස්තිය, දූෂණය නැති කරලා තියෙනවා නම්, පොලිසියට රජයේ සේවකයන්ට ස්වාධීනව සේවය කරන්න පුළුවන් වෙලා තියෙනවා නම්, ඊට වඩා රටක මොනාද බලාපොරොත්තු වෙන්නේ. අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි. අපි දූපතක ජීවත් වෙන නිසා අපි හිතන්නේ අපි විතරයි ජීවත් වෙන්න ඕනි කියලා. මිනිස්සුන්ගේ දූපත් මානසිකත්වයෙන් රාජපක්‍ෂ මහත්තයලා පසුගිය කාලේ වැඩ ගත්තා. සුළු ජාතීන් තළා පෙළලා කෝවිල්වලට, පල්ලිවලට ගහන යුගයක් ඇති කළා. උතුරේ ජනතාවට එක විදියටත්, නැඟෙනහිර ජනතාවට එක විදියටත්, දකුණේ ජනතාවට එක විදියටත් අපි සලකන්නේ නෑ.

බලය කියන දේ සදාකාලික නෑ. අද තියෙන්න පුළුවන්. හෙට නැති වෙන්න පුළුවන්. අපිට පුළුවන් දේ අපි සීමාවක ඉඳන් කරන්න ඕනි. බත් පැකට් එකටයි, අරක්කු බෝතලේටයි මිනිස්සු සී.ටී.බී. බස්වල රැස්වීම්වලට ගෙනියපු විදිය අපි අමතක කරලා නෑ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ලක්‍ෂ 1501ක් ඡන්දේ දවස්වල මිනිස්සු ඇද්දට සී.ටී.බී. එකට ගෙවන්න ඕනි. මේවා ජනතාවගේ සල්ලි. සමෘද්ධිලාභීන්ට මේ වෙනකොට ස්වයං රැකියා හඳුන්වලා දීලා ජීවත්වීමේ ක්‍රමයක් හදලා තියෙනවා. කිසිම කෙනෙක්ට ජනතාව රවටන්න ලයිසන් දීලා නෑ. ජනතාව අපි ගැන විශ්වාස කළේ වෙච්ච දේවල් වෙනස් කරයි කියන බලාපොරොත්තුවෙන්.

සිදත් මෙන්ඩිස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්