රජා ඉන්නේ නිරුවතින්

  👤  1717 readers have read this article !
Published by : MB WEB 2017-11-14 12:01:06

මේ ආණ්ඩුවේ සංවර්ධනය, සීතාම්බර සළුව වගේ බවත් රජා සළුව ඇඳගෙන යැයි සිතා සිටියද ඇත්තටම රජා ඉන්නේ නිරුවතින් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

ගම්මන්පිල මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

මේ ආණ්ඩුව ණය බරයි, ණය බරයි කියලා හැමවෙලාවෙම අඬා වැටෙනවා. බදු වැඩි කරන සෑම අවස්ථාවකම කිව්වේ ණය බර අඩු කරන්න බදු ගහනවා කියලා. බැංකු ගනුදෙනු මත බදු ගහන්නෙත් ඒක නිසා කියලා මුදල් ඇමැතිතුමා කිව්වා. එහෙම නම් දැන් මේ ආණ්ඩුව රටේ ණය බර සෑහෙන්න අඩු කරලා ඇති නේද..?

පසුගියදා ඇතිවුණු තෙල් හිඟයට හිටපු තෙල් ඇමැතිවරු දෙදෙනෙක් වගකිව යුතු බවට ඛනිජ තෙල් සම්පත් ඇමැති අර්ජුන රණතුංග මහතා පවසා තිබුණා. හිටපු ඛනිජ තෙල් ඇමැතිවරු හය දෙනෙක් ආණ්ඩුවේ ඉන්නවා. ඒ කරු ජයසූරිය මැතිතුමා, ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, අනුර යාපා මැතිතුමා, පා.ච. රණවක මැතිතුමා සහ චන්දිම වීරක්කොඩි මැතිතුමා ඒ දෙදෙනාගේ නම් නොකිව්වොත් හය දෙනාටම අසාධාරණයක් වෙනවා. ඒ නිසා මෙම ඇමැතිවරු දෙදෙනා වහාම රටට හෙළි කරන්න කියලා අර්ජුන ඇමැතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

මෙගා ඩීල් ගැන ඡන්ද කාලයේදී කතා කළත් අද වෙනතුරු සිඟිති ඩීල් එකකටවත් දඬුවම් කරලා නෑ. ඩීසල් මාෆියා ගැන වීර කතා කිව්වත් අද වෙනතුරු එක නමක්වත් හෙළි කරලා නෑ. ඒ නිසා මෙවරවත් වැරැදිකරුවන් නම් කරලා එතැනින් නතර නොවී ඒ අයට දඬුවම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙගා පොලිස් ඇමැති පා.ච. රණවක ඇමැතිතුමාගේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරනවා මදි යැයි දැන් එතුමා මාධ්‍ය ඉදිරියේ නිරතුරු හඬා වැටෙනවා. ආණ්ඩුවේ නායකයන්ට ආඩපාලි කියනවා. නමුත් ආණ්ඩුව එතුමාගේ අමාත්‍යාංශයට ඔය තරමින් හරි මුදල් ලබාදීම ගැන සතුටු වෙන්න ඕනෑ.

දෙන මුදලෙන් භාගයක්වත් වියදම් නොකරන ඇමැතිවරයකුට තව තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න නම් මුදල් ඇමැතිට මොළයේ අමාරුවක් තියෙන්න ඕන. ආණ්ඩුව මූල්‍ය අර්බුදයක සිටින අතරේ වියදම් නොකරන මෙගා පොලිස් ඇමැතිට පසුගිය වසරට වඩා බිලියන 12ක් වැඩිපුර ලබාදීම ගැන එතුමා සතුටු වෙන්න ඕන. එතුමා දැන් කරන්න ඕන තමන්ට දෙන මුදල මදි යැයි අඬා වැටීම නෙවෙයි. නිලධාරීන් සමඟ වාඩි වී ලැබුණු මුදල වියදම් කරගන්න බැරි වූයේ ඇයි කියා අමාත්‍යාංශයේ ආකාර්යක්ෂමතාවට හේතු සොයන එකයි. වැඩ බැරි ඇමැතිලා නටන්න බැරි වූ විට පොළොව ඇදයි කියනවා. එය තමයි ආණ්ඩුව පුරාම දකින්න ලැබෙන්නේ.

මෙවර අය - වැය සම්බන්ධයෙන්ද මන්ත්‍රිවරයා අදහස් දැක්වීය.

අය - වැයෙන් කිසිම සහනයක් දීලා නැහැ. කරලා තියෙන්නේ බදු බර වැඩි කිරීම පමණයි. මේ අය - වැය නීල හරිත අය වැයක් ලෙස සඳහන් කළාට මේකේ කිසිම පරිසර හිතකාමීකමක් නැහැ.

බොරුවට පරිසර හිතකාමී වාහනවලට බදු සහන දෙනවා කියලා පෙන්වමින් පෙට්රල් සහ ඩීසල්වලින් වැඩ කරන වාහන මත තව තවත් බදු පටවලා ටොයියන්ගේ නොතෙමී යන සිහිනය සදහටම බොඳ කිරීමයි කර තිබෙන්නේ.

මේක විජ්ජාවක් විතරයි.

ඒ වගේම අය වැය යෝජනාව අරගෙන මංගල සමරවීර ඇමැතිතුමා ගියා ජනාධිපතිතුමා ගාවට. එතුමා ඇහුවා ඡන්ද කටේ බඩු මිල අඩු කරන්න මුකුත් කරලා නැද්ද කියලා. මුකුත්ම කරලා නෑ කිව්ව නිසා වහාම පිටරටින් ගේන අල, ලූනු, හාල්මැස්සන්ටවත් බදු සහනයක් දෙන්න මාධ්‍ය හමුවක් තියලාවත් ඒ බඩු අඩු කරලා අය - වැයට යන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අය - වැයට කලින් මුදල් ඇමැතිවරයෙක් මාධ්‍ය හමුවක් කැඳවා බඩු මිල අඩු කර නැහැ. ඒ විජ්ජාව ලෝක ඉතිහාසයේ පළමු වතාවට පසුගිය 8 වැනිදා අපේ මුදල් ඇමැතිතුමා කළා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්