රසෝලිගේ පිත්තේ බලයෙන් ලංකාවට අවසන් පූර්ව වටය අහිමි කරයි

  👤  1423 readers have read this article !
Published by : MB WEB 2017-11-15 11:35:25

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඩාවිස් රසෝලි පන්දු 37කදී ලැබූ වේගවත් ශතකය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 134කින් පරාජය කරමින් ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්තානය ඊයේ සමත් විය.
ඒ අනුව "බී" කොටසින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආසන්නව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එම අවස්ථාව ගිලිහී ගොස් ඇති අතර, ඇෆ්ගනිස්තානය සමඟ "බී" කොටසින් පාකිස්තානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ පැවැති තීරණාත්මක තරගයට පෙර තරග දෙකක් ජයගෙන ලකුණු 4ක් සමඟින් +1.155ක ශුද්ධ ලකුණු වේගයක් ලබා ඇෆ්ගනිස්තානය (+0.580) අභිභවා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටියද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඊයේ ලැබූ දැවැන්ත ජය හේතුවෙන් තරග දෙකක් ජයගෙන ලකුණු 4ක් සමඟින් +2.255ක ශුද්ධ ලකුණු වේගයක් ලබා ශ්‍රී ලංකාව තෙවැනි තැනට ඇදදමමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වීම කැපී පෙනුණි.

ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මලයාසියාවේ ක්වාලාලම්පූර්හි කිම්රාරා ඕවල් පිටියේදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය පන්දුවාර 20කට සීමා විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 20කදී කඩුලු 3කට ලැබූ ලකුණු 224ට පිළිතුරු සැපයූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ පන්දුවාර 20කදී කඩුලු 9කට ලකුණු 90ක් පමණි.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩාවිස් රසෝලි පන්දු 38කදී හතරේ පහර 7ක් හා හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබාගත් අතර, ඔහු අර්ධ ශතකය පන්දු 17කදී හා ශතකය පන්දු 37කදී ලබාගැනීමද සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.
මේ අතර ඊයේ පැවැති ඉන්දියාවට තීරණාත්මක තරගයේදී බංග්ලාදේශය හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබූ ඉන්දියාව ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සිදුවීමද විශේෂත්වයකි.

ඒ අනුව මේ වනවිට බංග්ලාදේශය හා නේපාලය "ඒ" කොටසින්ද, ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය "බී" කොටසින්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

ලකුණු සාරාංශය
ඇෆ්ගනිස්තානය
(පන්දුවාර 20කදී කඩුලු 3කට) 224 (ඩාවිස් රසෝලි නොදැවී 105, රාමුදුල්ලා ගුර්බාෂ් 59)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (පන්දුවාර 20කදී කඩුලු 9කට) 90 (ක්‍රිෂ්මා ලකානි 36, මුහමඩ් අලී 12)

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon