ටෙස්ට් සටනේ ආරම්භය අදයි

  👤  1743 readers have read this article !
Published by : MB WEB 2017-11-16 11:38:45

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩා පිටියේදී අද (16දා) ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙපිල මුණගැසෙන 42 වැනි ටෙස්ට් තරගය ලෙසිනි. අද තරගය පැවැත්වෙන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩා පිටිය කොළ පැහැති වේගවත් තණතීරුවකින් සමන්විත බව වාර්තා වන අතර, මෙවැනි තණතීරුවක් නිර්මාණය කර ඇත්තේ දකුණු අප්‍රිකානුවන් සමඟ ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ඉන්දියානු කණ්ඩායමට පෙරහුරුවක් ලබාගැනීමේ අදහසින් බවද පැවැසේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේදී මෙතෙක් ටෙස්ට් තරගයක් සඳහා එක්වී නොමැති හෙයින් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස්, වේගපන්දු පුහුණුකරු රොමේෂ් රත්නායක, පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර හා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ වේලාසනින්ම මෙම තණතීරුව නිරීක්‍ෂණය කර තිබූ බවද දැනගන්නට ඇත.

මෙම තණතීරුව වේගපන්දු යවන්නන්ට උචිත තණතීරුවක් බවට පත්ව ඇති බැවින් අද තරගයේදී විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල් හා ළහිරු ගමගේ යන තිදෙනාම හෝ දෙදෙනකු යොදාගැනීමට වැඩි ඉඩක් පවතින බවද පැවැසෙන අතර, සධීර සමරවික්‍රම ආරම්භක පිතිකරණ භූමිකාව රඟ දැක්වීමට සූදානම්ව සිටී.

කෙසේ වෙතත් දෙපිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී එක් තරගයක් හෝ ජය ගැනීම තම සිහිනයක් බව රංගන හේරත් ඉන්දියානු මාධ්‍ය හමුවේදී පවසා තිබීම හා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය ජයගැනීමට ඇත්තේ අවම ඉඩක් බව මුරලිදරන් පැවැසීම තුළ මෙම තරගාවලිය දෙපිලටම පීඩනයක් වී ඇති බව පෙනෙන්නට ඇත. ඉතිහාසයේ කිසිම දිනක ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් හෝ ජයගැනීමට නොහැකි වී ඇති බවත් මුරලිදරන් පැවැසුවද එය වර්තමානයට වලංගු නොවේ. අවශ්‍යව ඇත්තේ අළු ගසා නැඟිටීම පමණි.

ඇන්ජිලෝ මැතිව්ස් වැනි ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන්ද නොමැතිව තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පන්දු යවන්නන්ගෙන් පරිපූර්ණ පාකිස්තානය පරාජය කිරීමට මීට මාසයකට පෙර හැකි වූවා සේම මෙම තරගාවලියේදී ඇන්ජිලෝ මැතිව්ස්ගේ සහායත් සමඟින් යන්තමින් හෝ තම ගෞරවය බේරාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් මුරලිලාගේ කයිවාරුවලට ඉන් හොඳ පිළිතුරක්ද ලැබෙනු ඇත. මේ අතර ඊයේ දිනයේදී කොල්කටා නුවර ප්‍රදේශයට වර්ෂාව පතිත වූ අතර අදින් ඇරැඹෙන ටෙස්ට් තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල විය හැකිය.

අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක/ළහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon