වෙනදාට වඩා වෙනස් දෙයක් අපි මෙවර ඉන්දියාවට පෙන්නුවා

  👤  1686 readers have read this article !
Published by : MB WEB 2017-11-22 11:21:59

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වූ අතර, මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමටද සමත් වී තිබිණි.

තරගය අවසානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු නික් පෝතාස්ද මේ අදහස තරවුරු කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ආරම්භය යහපත් බවය.

"අපි පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 2-0කින් ජයගනිමින් සාර්ථකව නිමා කළා. මේ තරගාවලියේ ආරම්භයේදීම අපි ඉන්දියාවට යම් තර්ජනයක් එල්ල කිරීමෙන්ම පෙනී යනවා අපි යම් සාර්ථකත්වයක් ලබා ඇති බව. කොහොම වුණත් පළමු තරගයේදීම අපි ලැබුවේ අතිශය ධනාත්මක තත්ත්වයක්. මෙම තත්ත්වයට නිර්මාණය කර ගැනීමට සහාය ලබා දුන් නිලධාරීන්ට හා ක්‍රීඩකයන්ට අනිවාර්යයෙන්ම සම්මාන හිමිවිය යුතුමයි" යනුවෙන් පැවැසූ පෝතාස් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙන්වූ පසුබැසීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"එතැනදී අපිට ලොකු පීඩනයක් තිබුණා. ඒ තත්ත්වය ඕනෑම කණ්ඩායමකට සිදුවිය හැකි දෙයක්. ඒත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙයට පෙර ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ ආකාරයට වඩා යම් දියුණුවක් ලබා ඇති බව ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක්. මගේ නම් අදහස මේ කණ්ඩායම අනාගතයේදී අනෙක් රටවලට විශල තර්ජනයක් එල්ල කළ හැකි කණ්ඩායමක් බවට පත්වේවි" යනුවෙන්ද පෝතාස්ගේ අදහස විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon