පළමු ටෙස්ට් තරගයෙන් පස්සේ අපි තවත් මුවහත් වෙලයි ඉන්නේ

  👤  2126 readers have read this article !
Published by : MB WEB 2017-11-24 10:30:08

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (24දා) නාග්පූර්හි විදර්බා ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ඇරැඹීමට නියමිතව ඇත්තේ දෙරට අතර පවත්වනු ලබන 43 වැනි ටෙස්ට් තරගය ලෙසිනි.

අද තරගය පැවැත්වෙන විදර්බා ක්‍රීඩා පිටිය වේගපන්දු යවන්නන්ට වඩා දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත බව ඉතිහාසය පිරික්සීමෙන් දැනගත හැකි අතර, මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව සහභාගි වන මංගල ටෙස්ට් තරගයද මෙය වනු ඇත.

කෙසේ වෙතත් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුවීමට ඉඩ ඇති අතර, එහිදී ළහිරු ගමගේ වෙනුවට ධනංජය සිල්වා කණ්ඩායමට එකතුවීමට ඉඩ ඇති බවද පැවැසේ.

මේ අතර තරගය පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත්තේ මෙම තණතීරුව පෙර තරගය පැවැති ඊඩ්න් ගාඩ්න් තණතීරුවට වඩා පිතිකරුවන්ට යෝග්‍ය බවයි.

"මෙම තණ තීරුවේ පළමු දින කිහිපය පිතිකරුවන්ට යෝග්‍ය වීමට ඉඩ ඇති නමුත් අවසන් දින දෙකේදී පමණ පන්දුව දඟ පන්දු යවන්නන්ටත් උචිත වේවි. එය අපිට අභියෝගයක් වුණත් කණ්ඩායමක් ලෙස අපිට ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා. කොහොම වුණත් අපි ඉන්දියාවට ආවේ තරගයක් ජයග්‍රහණය කරන්නයි. ඒ සඳහා අවශ්‍ය සියලුම අංශ අපි දැන් ශක්තිමත් කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ පන්දු රැකීමේ අංශය විශාල වෙනසක් ලබලා තියෙනවා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා පසුගිය තරගයේදී දුර්වල වූ ළහිරු ගමගේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"ඔහු ඉතා හොඳ පන්දු යවන්නෙක්. සමහර අවස්ථාවලදී කුමන හෝ ක්‍රීඩකයකුට එම දිනයේ දස්කම් දක්වන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එම තරගයේදී දස්කම් දක්වන්න බැරිවෙන්න පුළුවන්. ඔහුට මෙම තරගාවලිය හොඳ අත්දැකීමක්. කොහොම වුණත් හෙට (අද) දිනයේදී තණතීරුව පරීක්‍ෂා කර බලලා තමයි කණ්ඩායම පිළිබඳව තීරණයක් ගන්නේ" යනුවෙන්ද චන්දිමාල් පවසා තිබිණි.

මේ අතර පළමු තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අතුරින් විශාල දියුණුවක් ලබා ඇති සුරංග ලක්මාල්ගේ පන්දුයැවීම බලපෑ අතර, ඔහු අදින් ඇරැඹෙන තරගයේදීත් ඉන්දීය කණ්ඩායමට තර්ජනයක් එල්ල කරනු ඇතැයි බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍රව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon