චීනයේ කර්මාන්තශාලාවක බලගතු පිපිරීමක්

  👤  1767 readers have read this article !
Published by : MB WEB 2017-11-27 11:49:07

නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් මරුමුවට පත්ව තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

උදෑසන 9ට පමණ පිපිරීම හටගෙන තිබෙන්නේ නින්ග්බෝ (Ningbo) නගරයේ ජියන්ග්බෙයි (Jiangbei) දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තශාලාවක බව විශ්වාස කෙරේ.

පිපිරීමත් සමග අසල පිහිටි ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී තිබේ.

බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් දියත්ව තිබෙන බව වාර්තා කරන රාජ්‍ය ජනමාධ්‍ය පවසන්නේ අඩුම තරමින් 30 දෙනෙකුවත් මේ වන විට රෝහල්වලට ඇතුළත් කොට තිබෙන බවය.

ගොඩනැගිලිවල සුන් බුන් අතරින් බේරා ගැනීමේ සේවකයන් තුවාලකරුවන් ඉවත ගෙන යන ආකාරය වීඩියෝ දර්ශනවල දකින්නට ලැබේ.

කම්හල්වල හටගන්නා අනතුරු නිරන්තරයෙන් චීනයෙන් වාර්තා වීම හමුවේ වැඩපොළ තුළ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස දැනට වඩා පියවර ගන්නා මෙන් ඉල්ලීම් මතුවෙමින් පවතී.

වැඩපොළවලට කඩා පැන කරන විමර්ශන වැඩි කර තිබෙන බව එයට ප්‍රතිචාර වශයෙන් සඳහන් කරන ආණ්ඩුව වැඩිදුරටත් පවසන්නේ සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර නොගන්නා හාම්පුතුන්ට ලබා දෙන දඬුවම් ද දැඩි කරමින් සිටින බවය.

වැඩපොළේදී හටගන්නා අනතුරු හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව 2016 දී 25% කින් පහළ ගොස් ඇති නමුත්, චීනයේ කර්මානතාශාලාවල හටගන්නා අනතුරු හේතුවෙන් වසරකට 29,000 ක් දෙනා තවමත් මරුමුවට පත්වෙති.

නින්ග්බෝ නගරයේ කර්මාන්තශාලාවේ පිපිරීමට හේතුව කවරක් දැයි තීරණය කිරීම පිණිස පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.

පිපිරීම හටගත් ස්ථානයේ සිට කිලෝමීටරයක් තරම් දුරට ජනෙල්වල කැබලි විසි වී තිබුණු බව ද ඇතැම් වාර්තාවල දැක්වේ.

(BBC)

 

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon