පොලිස් පිලට පළමු ජය අහිමි වෙයි

  👤  1340 readers have read this article !
Published by : MB WEB 2017-12-04 11:19:37

අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ තරග වර්ෂාවෙන් පැවැති බාධා මධ්‍යයේ නිමා වන විට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සහ මහනුවර ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර කොළඹ පොලිස් පාක්හිදී පසුගිය සිකුරාදා (1දා) පැවැති සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වීමද විශේෂත්වයකි.

ඒ අනුව සිකුරාදා (1දා) පැවැති කොළඹ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගයේදී දෙපිලම ලකුණු 21ක් බැගින් වාර්තා කිරීම නිසා මෙවර තරගාවලියේදී මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට අපොහොසත්වූ පොලිස් කණ්ඩායමට තම පළමු ජයග්‍රහණය ලබා ගැනීමට තිබු අවස්ථාව මඟහැරී ගියේය. එනම් තරගයේ පළමු භාගයේදී ලකුණු 13-12ක් ලෙස පොලිස් පිල ඉදිරියෙන් සිටියද දෙවැනි භාගයේදීද සටන අත්නොහැර සී.එච්. ක්‍රීඩකයෝ තවත් ලකුණු 9ක් එකතු කර ගන්නා විට පොලිස් කණ්ඩායමට එක් කර ගත හැකිවූයේ තවත් ලකුණු 8ක් පමණි. ඒ අනුව තරගය අවසානයේ කණ්ඩායම් දෙක ඉදිරියේම ලකුණු පුවරුවේ සටහන් වූයේ ගෝල 1ක් , උත්සාහක දිනුම් 1ක් සහ දඬුවම් පහර 3ක් වශයෙනි.

මේ අතර එදිනම වැලිසරදී පැවති ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර ගැටුමේදී ලකුණු 10 (ගෝල 1, දඬුවම් පහර 1ක්) ට 0ක් ලෙස ජයගන්නට නාවික හමුදාව සමත් වූයේ මෙවර තරග වාරයේ සිවුවැනි ජයග්‍රණයද සටහන් කරමිනි. ඒ අනුව මෙවර සිවුවැනි පරාජය වැලඳගන්නට ගුවන් හමුදාවට සිදුවෙද්දී පෙරේදා (2දා) කොළඹ පැවැති තරග දෙකේදී සී.ආර්. කණ්ඩායම පරදා මහනුවර පිලත් යුද හමුදාව පරදා හැව්ලොක්ස් පිලත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. මහනුවර හා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම් තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 12-5ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර කණ්ඩායම අවසානයේදී ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ජයග්‍රහණය සටහන් කරන විට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණඩායම ගෝල 1ක් හා උත්සාහක දිනුමකින් ලකුණු 12ක් වාර්තා කළේය.

තවද කොළඹ හැව්ලොක්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 29ට 14ක ජයක් හැව්ලොක්ස් කණ්ඩායමට හිමි විය. හැව්ලොක්ස් කණ්ඩායම ගෝල දිනුම් 3ක් උත්සාහක දිනුම් 1ක් සහ දඬුවම් පහරක් ඇසුරෙන් ලකුණු රැස්කර ගන්නා විට ගෝල 2ක් මඟින් යුද හමුදා පිලට ලකුණු වාර්තා විය. එම තරගයේ පළමු භාගය නිමා වන විටද ලකුණු 21-14ක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටි අතර දෙවැනි භාගයේදී කිසිදු ලකුණක් ලබා ගැනීමට ඔවුන් විසින් යුද හමුදා ක්‍රීඩකයන්ට ඉඩ ලබා නොදීමද කැපී පෙනුණි. කෙසේ වෙතත් පසු ගිය සති අන්තයේ පැවැති මෙම තරගවලදී ක්‍රීඩාංගණවල තෙත බරිත තත්වයන් හේතුකොට ගෙන කිසිදු කණ්ඩායමකට තම උපරිම දක්‍ෂතාවන් අතරට යෑමට නොහැකි විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon