මැතිව්ස්-චන්දිමාල් එකතුවෙන් ලංකාව ගෞරවනීය තැනකට

  👤  1387 readers have read this article !
Published by : MB WEB 2017-12-05 10:04:31

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ (04දා) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 356ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 180ක් පසුපසින් සිටින අතර, ඔවුනට (ශ්‍රී ලංකාවට) ඉතිරිව ඇත්තේ එක් කඩුල්ලක් පමණි.

එහිදී පන්දු 341කට මුහුණ දී හතරේ පහර 18ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 147ක් ලබා නායකත්වයේ ඉනිමක නිරත වීමට දිනේෂ් චන්දිමාල් සමත්වූ අතර, එම ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය බවටද පත්විය.

පෙරේදා කඩුලු 3කට ලකුණු 131ක් වූ ශ්‍රී ලංකා ඉනිම ඊයේ තවදුරටත් ඉදිරියට ඇදගෙන ගිය ඇන්ජිලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා නායකයා දිවා භෝජනය තෙක් තම කඩුලු ආරක්ෂා කරගත් අතර, දිවා භෝජනයෙන් පසුවද තවත් පන්දුවාර 26ක් පුරාවට ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට දායක වූහ.

කෙසේ වෙතත් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින සහා අතට උඩපන්දුවක් ලබා දීමෙන් ඇන්ජිලෝ මැතිව්ස් දැවී යනවිට ශ්‍රී ලංකා නායකයා සමඟින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 181ක සබඳතාවක්ද එක් කිරීමට මැතිව්ස් සමත් වී තිබිණි.

පන්දු 268කට මුහුණ දී හතරේ පහර 14ක් හා හයේ පහර දෙකක් සමඟින් මැතිව්ස් ලැබූ ශතකය (ලකුණු 111) ඔහුගේ ටෙස්ට් දිවියේ 8 වැනි ශතකය බවටද පත්වූ අතර, 2015 වසරේ අගෝස්තු 28 වැනිදා ඉන්දියාවට එරෙහිව රැස්කළ ශතකයෙන් අනතුරුව එනම් ඉනිම 36කට පසු මැතිව්ස් මෙම ශතකය ලබාගැනීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් මැතිව්ස් ලකුණු 98 ලබා සිටියදී ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි රෝහිත් ෂර්මාට උඩ පන්දුවක් ලබා දුන්නද ෂර්මා අතින් එම උඩපන්දුව ගිලිහීමේ වාසිය මැතිව්ස්ට හිමිවිය.

ලකුණු 111ක් ලබා සිටි මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයාට එකතු වූ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300න් ඔබ්බට රැගෙන යද්දී ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින සහා රැකගත් අනගි උඩපන්දුවක් හේතුවෙන් සධීර ලකුණු 33කට දැවී යනවිට හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබඳතාවක් එක්ව තිබිණි.

සධීරගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ ඇද වැටීම ආරම්භ වූ අතර, එහි පළමු පුරුක බවට පත්වූයේ රොෂේන් සිල්වාය. ඒ අනුව රොෂේන් සිල්වා කිසිදු ලකුණක් ලබා නොතිබියදී අෂ්වින්ට ගොදුරු වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 318ක් ලෙස පත්වූ අතර, අනතුරුව පැමිණි නිරෝෂන් දික්වැල්ලට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් අෂ්වින් දික්වැල්ලද ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරය බලා හරවා යැවීම හේතුවෙන් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ අවදානම ශ්‍රී ලංකාව දෙසට බර විය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 331ක්ව තිබියදී සුරංග ලක්මාල් ලකුණු 5කට සාමිගේ පන්දුවක් හමුවේ සහාට උඩපන්දුවක් ලබා දී අටවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, ඉන් අනතුරුව එක්වූ ළහිරු ගමගේ ශ්‍රී ලංකා නායකයාට අනගි සහායක් ලබා දෙමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවදානම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තුරන් කළේය. තෙවැනි දිනය නිමාවන විට නායකත්වයේ ඉනිමක නිරත වන චන්දිමාල් නොදැවී ලකුණු 147ක් ලබා ඇති අතර, සඳකැන් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටී.

 දිල්ලියේ වායුව ශ්වසනය කරන අයකුට දිනකට දුම්වැටි 50ක විසක්

නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා තෙවන ටෙස්ට් තරගයට පෙරේදා දිනයේදී දිවා ආහාරයෙන් පසු වරින් වර බාධා ඇති වූ අතර ශ්වසන ආබාධයන්ට ලක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දැඩි අසීරුතාවකින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

කෙසේ වෙතත් මේ වනවිට ලොව වැඩිම වායු දූෂණයක් පවතින නගරය වන දිල්ලි නගරයේ වාසය කරන පුද්ගලයකුගේ ශ්වසනය මඟින් දිනකට දුම්වැටි 50ක අන්තර්ගත විස ශරීරගත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර මෙවන් තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වූ බවට ඉන්දීය විස්තර විචාරකයන් මැසිවිලි නැඟීම සිනහවට කරුණක් බවට පත්වී තිබිණි.

මේ අතර දිල්ලි නුවර පාසල් කිහිපයක් වසා දමා ඇති බවත් ශ්වසන ආබාධ නිසා පුද්ගලයන් වැඩි වශයෙන් රෝහල් ගත වන බවද පැවසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon