"මම කැමැතියි කලාකාරයෙක් නොවී ඉන්න" - කූඹියෝ අධ්‍යක්ෂක මව්බිමට කියූ කතාව

  👤  1300 readers have read this article !
Published by : MB WEB 2017-12-07 16:21:49

රුවින්ද වීරසිංහ

"කූඹියෝ" මේ වෙද්දී ලංකාව තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. මේ ගැන මොකද හිතන්නේ?

නිර්මාණකරුවන් විදියට මට සහ දමිතට ඇත්තටම මේ ගැන ලොකු සතුටක් තියෙන්නේ. අනිත් පැත්තෙන් ලංකාවේ ටෙලිවිෂන් එක ගැන පසුගිය කාලේ කතාබහක් තිබුණෙත් නැහැ. කූඹියෝ හරහා දැන් ආයෙත් ටෙලිවිෂන් එක ගැන සහ ටෙලි නාට්‍ය ගැන අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය දකිද්දී මට හිතෙනවා කූඹියෝ නිසා යම්කිසි හොඳක් සිද්ධ වෙලා තියෙනවා කියලා ටෙලි නාට්‍ය කර්මාන්තයට.

දැන් සමාජ ජාල තුළ බැලුවොත් "කූඹියෝ" ජනප්‍රියත්වයට එහා ගිය රසික උන්මාදයක් බවට පත් වෙලා නේද තියෙන්නේ?

මේ තත්ත්වය රසික උන්මාදයක් විදියට පේන්නේ, ඇත්තටම ගොඩ කාලෙකින් ටෙලිවිෂන් එක ඇතුළේ මේ වගේ වෙනස් ආකෘතියක ජනප්‍රිය වැඩක් සිදු නොවුණු නිසයි. ඉතින් මිනිස්සු කලාව ඇතුළේ අලුත් වෙනසක් රසවිඳින්න කොයිතරම් බඩගින්නකින් ද ඉඳලා තියෙන්නේ කියන එක මේ උනන්දුව තුළින් හොඳටම පේන්න තියෙනවා.

"කූඹියෝ" තුළ දකින්න ලැබෙන චරිතවල නම්වලින් ෆේස් බුක් පේජ් පවා හැදෙන්න අරගෙන නේද?

ඔව්. ඇත්තටම "කූඹියෝ" කියලා තියෙනවා අපේ Official Page එකක්. ඉතිං ඒක හැරුණම තියෙන කිසිදු Page එකක් හෝ ගිණුමක් මම හෝ අසංක ‍ෙදාඩන්තැන්න සත පහක් වත් වියදම් කරලා කරපු දේවල් නොවෙයි. කොටින්ම මටම Friend Request එනවා මගේම නාට්‍යයේ චරිතවල නම් වලින්.

හැබැයි මේ ෆේස්බුක් ගිණුම් සහ පේජ් හරහා කූඹියෝ වෙනුවෙන් ලැබෙන ප්‍රචාරණය දිහා බලද්දී කෙනෙක්ට මේවා ඔයාලගෙම මාර්කටින් වැඩක් විදියටත් පේන්න පුළුවන් නේද?

ඔව්. දැන් "කූඹි ගුල" කියලා තියෙනවා Fan Page එකක්. අපේ නිල Face book පිටුවටත් වඩා දේවල් ඒක ඇතුළේ කතාබහ වෙනවා. ඔය අතරේ මම දැක්කා ප්‍රියන්ත මහඋල්පතගම කියලා තියෙනවා Face book ගිණුමක්. කූඹියෝ නාට්‍යයේ පිටපතටත් වැඩිය ඉතා මරු දේවල් ඒක ඇතුළේ කතා වෙනවා. ඉතිං මේ දේවලුත් එක්ක කෙනෙක්ට හිතෙනවා නම් කූඹියෝ කියන්නේ ඉතා සැලසුම් සහගත මාර්කටින් ව්‍යාපාරයක් කියලා මං කියන්නේ ඒක එහෙම කරන්න තිබුණා නම් මරු. නමුත් ඇත්තටම අපිට එහෙම හැකියාවක් තිබුණේ නැහැ. ඇත්තටම කූඹියෝ මාර්කට් කිරීම ගැන අදහසක් අපිට තිබුණෙම නැහැ.

ඔබ දෙවෙනි ඉනිම බලලා තියෙනවද?

ඇත්තටම මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ටෙලිවිෂන් එක බලන්න ලැබෙන අවස්ථා හරි අඩුයි. නමුත් පසුගිය කාලේ කූඹියෝ සහ දෙවෙනි ඉනිම ගැන ප්‍රේක්‍ෂකයෝ කතාබහ කරන්න ගත්ත විදියත් එක්ක මමත් දවස් දෙක තුනක් මේ මොකක්ද කියලා බලන්න දෙවෙනි ඉනිම දිහා අවධානයෙන් බැලුවා.

එහෙම බලපු දෙවෙනි ඉනිම නාට්‍ය ගැන ලක්මාල්ට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

අවංකවම දෙවෙනි ඉනිම කියන්නේ මං කැමැති වර්ගයේ නාට්‍යයක් නෙවෙයි. මොකද මං ඒ වගේ ආදර කතාවලට කැමැති කෙනෙක් නෙවෙයි. නමුත් ඒ රසයට කැමැති අය ඕන තරම් ඇති. සරලම උදාහරණය මගේ අම්මා දෙවෙනි ඉනිමේ හොද රසිකාවියක්.

කූඹියෝ සහ දෙවෙනි ඉනිම රසිකයන් අතරේ, යම් ගැටුමකුත් මේ දවස්වල පේන්න තියෙනවා. මේ ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?

මේක ගැන මම ගොඩාක් තැන්වලදී කියලා තියෙනවා. මේක රේස් එකක් නෙවෙයිනේ. එතකොට අරකට වැඩිය මේක හොඳයි, මේක තමයි ඉස්සරහින්ම දුවන්නේ වගේ එකක් මේකට අදාළ කරගන්න බැහැ. අද පාරක ගත්තොත් එක එක ජාතියේ කෑම කඩ තියෙනවානේ. ඉතින් තම තමන්ට කැමැති කැමැති කඩවලින් තමන්ට කැමැති කෑම කන්නත් එතකොට අවස්ථාව තියෙනවා. ටෙලිවිෂනයත් ඒ වගේ. එක එක නාළිකාවල එක එක නාට්‍යවලින් එක එක රස ලැබෙයි. ඉතින් ඒවයින් තමන් කැමැති දෙයක් තෝරාගෙන රස විඳිනවා මිසක් අනිත් කෙනා රස විඳින දේ ගැන අපි වධ වෙන්න ඕන නැහැ කියලයි මම නම් කියන්නේ.

සමාජ ජාල ඇතුළේ ඇතිවන මේ කතාබහ දිහා බලද්දී දැන් දෙවෙනි ඉනිමට වඩා කූඹියෝ ජනප්‍රියයි කිව්වොත් මම හරිද?

නැහැ. මේ වෙනකොටත් ලංකාවේ ජනප්‍රියම නාට්‍ය තමයි දෙවෙනි ඉනිම. මොකද තාමත් කූඹියෝ යූ ටියුබ් එකෙන් එක්ලක්‍ෂ හැටදාහක් විතර බලද්දී දෙවෙනි ඉනිම ලක්‍ෂ හතරක් විතර පිරිසක් යූ ටියුබ් එක හරහා නරඹනවා. නමුත් සමාජ ජාල ඇතුළේ වැඩි වශයෙන් කූඹියෝ ගැන කතා වෙනවා මේකෙ තියෙන වෙනස නිසා. ඉතින් මේ කතාබහ මටවත් සාරංගටවත් සමන්ටවත් අපේ දමිතටවත් මං හිතන්නේ ප්‍රශ්නයක් නෙවෙයි.

කූඹියෝ අපරාධ කතාවක් විදියට ජාත්‍යන්තර දර්ශකයක අංක එකට ඇවිත් කියලත් ලොකු ප්‍රචාරයක් ගියා. මේක ඇත්තක්ද?

මමත් දැක්කා මේක ගොඩක් අය අතරේ වැරදි විදියට ප්‍රචාරය වෙලා තියෙනවා. I.M.D.B. එහෙම නැත්නම් Internet Move Data Base කියන්නේ ලොව පුරා චිත්‍රපට ටෙලිවිෂන් කතා මාලා සහ නළු නිළියන් වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යා හැකි Face book ආකෘතියෙම චිත්‍රපට වෙනුවෙන් හැදුණු සමාජ ජාලයක්. ඒ තුළ මිනිසුන්ට අවස්ථාව දීලා තියෙනවා තමන් කැමැති චිත්‍රපට හෝ ටෙලිවිෂන් කතා මාලාවන්ට ඡන්දය ලබා දීමට සහ ඒවාට ලකුණු ලබා දීම තුළින් Rate කරන්න.

එතකොට අපි මේ කතා කරන දර්ශකයේ දෙවැනි ස්ථානයට ඇවිත් තියෙන්නේ ලොව පුරා ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගත්ත Breaking Bad කතා මාලාව. ඒ වෙනුවෙන් ලැබිලා තියෙන ඡන්ද ප්‍රමාණය මිලියන 12කටත් වැඩියි.

නමුත් අපි පළමුවැනි ස්ථානයට ඇවිත් තියෙන්නේ ඡන්ද අටදහසක පමණ ප්‍රමාණයකින්. ඉතින් අපිට ඡන්ද පොඩි ප්‍රමාණයක් වුණත් ඒ ඡන්ද ලබා දීපු ලාංකිකයෝ හැමෝම මේක ලකුණු 9,10 අතර Rate කරපු නිසා ප්‍රතිශතයක් විදියට අපේ ලකුණු වැඩි වීම නිසයි අපි එකට ඇවිත් තියෙන්නේ.

ඉතින් සරලවම බැලුවොත් දෙවැනි ස්ථානයේ පසුවන Breaking Bad අරන් තියෙන ඡන්ද ගණන අපිට වඩා කෝටි ගාණකින් වැඩියිනේ. ඒ නිසා මේකේ අංක එකට ඉන්නේ අපි තමයි කියනවා නම් ඒක ලොකු මිථ්‍යාවක්.

I.M.D.B. තුළ Page එකක් නිර්මාණය වුණු පළමු ලාංකික ටෙලිනාට්‍ය "කූඹියෝද"?

ඇත්තටම මේ "I.M.D.B." Page එකක් අපි හදපු එකක් නොවෙයි. කූඹියෝ වෙනුවෙන් ආදරය කරන කවුරුහරි මිනිසුන් පිරිසක් මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතිං මීට කලින් චත්‍ර වීරමන්ගේ "ආලෝකො උදපාදි" චිත්‍රපටයටත් I.M.D.B. Page එකක් හැදිලා තිබුණා. ඒ ඇරෙන්න ලංකාවේ ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මේ වගේ Page එකක් හැදුණද කියන්න නම් මම හරියටම දන්නේ නැහැ.

නමුත් ඒක ඇතුළේ මෙහෙම Ratings ලැබිලා දර්ශකයක ඉහළට එනව වගේ දෙයක් සිද්ධවුණු පළමුවැනි වතාව තමයි මේක. නමුත් ඒක එහෙමයි කියලා අපි ලෝකෙන් පළමුවැනියා වුණා වගේ අදහසක් ගන්න එක නම් වැරදියි.

මේ දවස්වල කූඹියෝ Season 2 එකක් ගැන කසුකුසුවක් යනවා. මොනවගේ සූදානමක් ද ඒ වෙනුවෙන් තියෙන්නේ?

කූඹියෝ නිර්මාණය කරද්දීත් අපේ යම්කිසි අදහසක් තිබුණා Season 2 එකක් ගැන. නමුත් මේක නිර්මාණය වුණු කාලයේ මෙය විකාශය කර ගැනීම වැනි කාරණාවලදී ඇති වුණු අවිනිශ්චිත භාවය සහ ප්‍රශ්නත් එක්ක ඒ අදහස එහෙම්මම යට ගියා. නමුත් දැන් කූඹියෝ මේ ලබමින් තියෙන ජනප්‍රියත්වයත් එක්ක අපි නැවතත් ඒ ගැන හිතන්න පටන්ගෙන තියෙනවා.

ඉතින් මම සහ දමිත බලන් ඉන්නවා මේක ඉවර වෙද්දී ප්‍රේක්‍ෂකාගාරය ඉන්නේ මොන වගේ තැනකද කියලා. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාරයත් එක්ක තවත් Season එකක් හරහා මිනිසුන්ට අලුත් ආතල් එකක් දෙන්න පුළුවන් කියලා හිතුණොත් අපි 2019 දී කූඹියෝ Season 2 ටෙලිවිෂනයට ගේන්න හිතන් ඉන්නවා.

ලක්මාල් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තමන් ගැන හැඳින්වීමට Not an Artist වගේ සඳහනක් යෙදුවේ ඔබ කලාකාරයෙක් නොවෙයි කියන අදහසින්ද?

ඇත්තටම මම කැමැතියි කලාකාරයෙක් නොවී ඉන්න. මොකද ලංකාවේ කලාකාරයා කියන කෙනා හැමතිස්සේම මම දකින්නේ මිනිසුන්ට වඩා හරි දුරයි කියලා. නමුත් ඉන්දියාවේ මිනිස්සුයි කලාවයි ගත්තොත් ඒක හරි ළඟයි. ශාරුක් ඛාන් මැරෙන කොට මිනිසුන්ටත් අඬන්න හිතෙන්නේ ඒ නිසයි. ඒවත් එක්ක බලද්දී Art අදාළත් නැහැ වගේ එකක් තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ ක්‍රමය ඇතුළේ දිගින් දිගටම ලංකාව ඉතුරු කරමින් යන්නේ මිනිසුන්ට රස විඳින්න බැරි Art එකකුයි Artist කියව ගන්න බැරි මිනිස්සු ටිකකුයි විතරයි. හැබැයි මේ දේ වෙනස් වෙච්ච දවසට මමත් ලෑස්තියි ඔය සඳහන An Artist කියලා නැවත වෙනස් කර ගන්න.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon