ලංකාව 1-0ක් සේ අසාර්ථකයි එහෙත් අවසානය සාර්ථකයි

  👤  1422 readers have read this article !
Published by : MB WEB 2017-12-07 09:31:04

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දක්ෂ පිතිකරණය නිසා ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර සමස්ත තරගාවලිය 1-0 ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 410ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබා සිටිමින් ඊයේ 5 වැනි දිනය ආරම්භ කළ අතර ලකුණු නොලබා නොදැවී සිටි මැතිව්ස් ඊයේ දිනයේ 6 වැනි පන්දුවාරයේදී ජදේජාගේ පන්දුවක් හමුවේ රහනේ හට උඩ පන්දුවක් ලබා දී එක් ලකුණකට දැවී ගියේය.

ඉන්පසු පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් සමඟ පස් වැනි කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් ගොඩ නඟන්නට ධනංජය ද සිල්වා සමත් වූ අතර ලකුණු 36ක් ලබා සිටියදී අශ්වින්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් දැවී ගියේය.

තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රොෂේන් සිල්වා සමඟද සාර්ථක සබඳතාවක් ගොඩනඟා ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර මට්ටමකට ගෙන ගිය ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ තෙවන ශතකය වාර්තා කරන්නට සමත් විය. තේ පානය සඳහා තරගය නතර කිරීමට පන්දුවාර 5ක් ඉතිරිව තිබියදී නොදැවී ලකුණු 119ක් ලබා සිටි ධනංජය ද සිල්වා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වන විට ලකුණු 58ක සබඳතාවක් ධනංජය - රොෂේන් යුගලය ගොඩනඟා තිබිණි.

පස් වැනි කඩුල්ලේ සබඳතාව ඉදිරියට ගෙනයෑමට පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල රොෂේන් සිල්වා සමඟ එක්ව දිනය නිමාවන තුරුම ලකුණු 94ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟා අපරාජිත අවසානයක් සනිටුහන් කරන්නට සමත් විය. තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74ක් ලබාගෙන තම මංගල අර්ධ ශතකය වාර්තා කළ අතර නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 44ක් ලබා සිටියේය.

තරගයේ වීරයාට සහ තරගාවලියේ වීරයාට හිමි සම්මාන දෙකම ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට හිමිවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon