කෝච්චි නෑ සාකච්ඡා අවුල්: වර්ජනය දිගටම

  👤  2004 readers have read this article !
Published by : MB WEB 2017-12-12 10:02:42

උපතිස්ස පෙරේරා

දුම්රිය සේවක වැඩ වර්ජනය ආරම්භ කළ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍ය උපදේශක ජේ.දඩල්ලගේ මහතා අතර ඊයේ (11දා) පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට එම වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය.

දුම්රිය සේවක වැඩ වර්ජනයට ආරම්භ කෙරුණේ ඉකුත් 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ දුම්රිය වැඩ වර්ජන හේතුවෙන් සේවක සේවිකාවන් විශාල පිරිසකට සේවා ස්ථානවලට වාර්තා කිරීමට නොහැකි වීමෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රජයේ හා පෞද්ගලික ආයතනවල සේවා කටයුතුද අඩපණ විය.

ජාතික දුම්රිය සේවක සමිතියේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද ඊයේ අග්‍රාමාත්‍ය ලේකම් ජේ. දඩල්ලගේ මහතා හමු වී මෙම ප්‍රශ්නය යම් මට්ටමකට හෝ සමථයකට පත් කිරීමටත්, අ.පො.ස. සා.පෙ. විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ ගමනාගමන පහසුකම් අවම වශයෙන් සලසාදීමට උපරිම උත්සාහයක් ගත් අතර තවත් වෘත්තීය සමිතියක් හරස් වීමෙන් එය අසාර්ථක විය. මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමෙන් රටේ පරිපාලනයට බරපතළ බාධා එල්ලවනු ඇතැයි ලේකම්වරයා සඳහන් කරයි.

මෙරට විභාග ඉතිහාසයේ දුම්රිය වර්ජනයක් හේතුවෙන් සිසු සිසුවියන්ට බරපතළ බලපෑම් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. කොළඹ කොටුවේ සිට දුර සේවා බස් රථ හා සුඛෝපභෝගී සේවා බස් රථ යොදා තිබූ බවත් දුම්රිය ධාවන වාර 20ක් පමණ ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක වූ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහානාම අබේවික්‍රම මහතා සඳහන් කළේය.

මෙම වර්ජනය හේතුවෙන් සා.පෙ. විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට සිදුවන බලපෑම සලකා නම්‍යශීලී ක්‍රියාමාර්ගයකට යෑමට ඇති හැකියාව පිළිබඳව අප විමසූ විට දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවැසුවේ දුම්රිය සේවකයන් මෙම ස්ථානයට තල්ලු කළ රජයේ බලධාරීන් එහි වගකීම භාරගත යුතු බවයි.

මේ අතර කටුනායක, පේරාදෙණිය, කොටගල, අනුරාධපුරය, බදුල්ල ඇතුළු ප්‍රදේශවල ප්‍රාදේශීය ඉන්ධන ගබඩාවලට දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීම ඇනහිටීම නිසා දිවයිනේ අෑත ප්‍රදේශවලට ඉන්ධන බෙදා හැරීමට බලපෑම් එල්ලවනු ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට නිවේදනය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලපැවැත්වෙන්නේ මසක පමණ කාලයකට පමණක් බවද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon