මම සෙල්ලම් කළේ 100%ක්ම සනීපෙන් නොවෙයි

  👤  2307 readers have read this article !
Published by : MB WEB 2017-12-12 10:42:13

එක දිගට එක්දින තරග 12ක් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම පරාජයේ ඉඩෝරය අවසන් කරමින් ඉන්දියාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයගෙන තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට මේ වනවිට සමත්ව සිටී.

ඉන්දියානුවන්ගේ පළමු කඩුලු 5 ලකුණු 16ක් තුළදී අහිමි කරමින් මෙයට පෙර 1983 වසරේදී ඉන්දියානුවන් සිම්බාබ්වේ හමුවේ පළමු කඩුලු 5 ලකුණු 17ක් තුළ දැවී ගිය වාර්තාවද කඩා දැමූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියානුවන් දණ ගැස්වීමට ප්‍රධාන දායකත්වය සපයා තිබුණේ සුරංග ලක්මාල්ය.

පන්දුවාර 10ක් යවා නිලකුණු පන්දුවාර 4ක්ද සමඟින් ලකුණු 13කට කඩුලු 4ක්ද දවාගනිමින් ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීමද සටහන් කර තිබූ සුරංග ලක්මාල් තරගයෙන් පසු ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තම කණ්ඩායම මේ වන විට හොඳ ආරම්භයක් ලබා ඇති බවය. "අපි එක දිගට තරග 12ක් පරාජය වෙලා හිටිය අවස්ථාවක මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීම පිළිබඳව ලොකු සතුටක් තියෙනවා.

ඉන්දියාව කියන්නේ එක්දින ශේ්‍රණිගත කිරීමෙහි අංක දෙක ස්ථානයේ ඉන්න ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන් පරාජය කිරීම ලෙහෙස පහසු දෙයක් නොවෙයි. මෙම තරගය ජයග්‍රහණය කරන්න මුල සිටම අපි සැලසුම් හදලා හොඳින් පුහුණුවීම්වල යෙදුණා. කොහොම වුණත් අපි ගත්ත සියලුම සැලසුම් සාර්ථක වුණු නිසයි තරගය අපේ පැත්තට ආවේ. මුල් භාගයේදීම ඔවුන්ගේ කඩුලු 7ක් ලකුණු 29කට අහිමි කිරීම අපි ලැබූ ජයග්‍රහණයක්. ඒත් දෝනිගේ පිතිහරඹය ඉතා ඉහළයි" යනුවෙන් පැවැසූ ලක්මාල් ඇන්ජිලෝ මැතිව්ස්ගේ හා නුවන් ප්‍රදීප්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළේය.

"මැතිව්ස් නැවතත් පන්දු යැවීම අපේ පන්දු යැවීමේ අංශය සමබර කරන්න බෙහෙවින්ම උදවු වෙනවා. ඔහුගේ බුද්ධිමත් පන්දු යැවීම අනෙක් පන්දු යවන්නට විශාල පහසුවක්. ඒ වගේම නුවන්ගේ නැවත පැමිණීමත් කණ්ඩායමට විශාල ශක්තියක්. ඔහු ලබාගත්තේ අතිශය තීරණාත්මක කඩුලු දෙකක්. කොහොම වුණත් දිල්ලිවල තිබුණු අවසන් ටෙස්ට් තරගයේදී මම අවස්ථා කිහිපයක්ම වමනය කළා. ඒ නිසා මම 100%ක්ම යහපත් තත්ත්වයකින් නොවෙයි මේ තරගයට පිවිසියේ" යනුවෙන්ද ලක්මාල් සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වන නික් පෝතාස් සඳහන් කරන්නේ උපුල් තරංග හමුවේ බුම්රා යැවූ නිපන්දුව තරගයේ තීරණය වෙනස් කළ බවය. එහිදී ඔහු සඳහන් කරන්නේ යම් හෙයකින් උපුල් තරංග ලකුණු 11ක් ලබා සිටියදී බුම්රා හමුවේ දැවී ගිය එම පන්දුව නිපන්දුවක් නොවුණා නම් තරගය මෙයට වඩා වෙනස් ස්වරූපයක් ගනු ඇති බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon