තුමිඳුගේ හිමිකාරිය කලණි ‘සහෝදරයා’ට හිමි වුණ හැටි

  👤  2783 readers have read this article !
Published by : MB WEB 2017-12-12 16:53:42

රුවින්ද වීරසිංහ

සහෝදරයා නාට්‍යයේ උත්තරා දේවිගේ රංගනය ගැන බොහෝ දෙනා මේ වෙද්දී කතා කරන්න පටන් අරගෙන. මොන වගේ හැඟීමක්ද ඒ ගැන තියෙන්නේ?

සහෝදරයා කියන්නේ පටන් ගැන්මේ සිට අවසානය වෙනකන්ම ලොකු අවධානයක් සහ කැපවීමක් එක්ක අපූරු පිරිසකගේ එකතු වීමකින් නිර්මාණය වුණු ටෙලිනාට්‍යයක්. ඒ වගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීමට ලැබීම ගැන ඇත්තටම හිතේ තියෙන්නේ ලොකු සතුටක්. මේ නාට්‍යයේ උත්තරා දේවිගේ චරිතය කියන්නේ මම හරි ආශාවෙන් කරපු චරිතයක්. ඉතින් ඒ චරිතය ගැන මිනිස්සු කතාවෙන කොට ඒ ගැන පුදුම සතුටක් මට දැනෙන්නේ. මේ දවස්වල මමත් සහෝදරයා නාට්‍යය ආසාවෙන් බලන හොඳ ප්‍රේක්ෂිකාවක්.

ඇත්තටම කවුද මේ කලණි කියන්නේ?

මම චිත්‍ර ශිල්පිනියක්. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයෙන් තමයි මම චිත්‍ර කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්තේ. වෘත්තීයමය වශයෙන් ගත්තොත් මම මේ වෙද්දි චිත්‍රකලා චිකිත්සකවරියක් විදියටයි කටයුතු කරන්නේ. මානසික ගැටලුවලින් පීඩා විඳින දරුවන්ට චිත්‍ර කලාව හරහා මානසික ප්‍රතිකාර ලබාදීම තමයි මම සිදු කරන්නේ.

එතකොට චිත්‍ර ශිල්පිනියක් වුණු කලණි 'සහෝදරයා' හරහා රංගන ශිල්පිනියක් වෙන්නේ කොහොමද?

සහෝදරයා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් නාමල් ජයසිංහ සර් විසිනුයි සිදුකරලා තියෙන්නේ. ඉතින් නාමල් ජයසිංහ කියන්නේ විශ්වවිද්‍යාලයේදී මට උගන්වපු ගුරුවරයෙක්. ඒ වගේම නාමල් සර් තුමිඳුගෙ හොඳම යාළුවෙක්. ඉතින් දවසක් නාමල් සර් මට උත්තරා දේවිගේ චරිතයේ තිර පිටපතක් දීලා කිව්වා මේක කියවල බලන්න කියලා. ඒ වෙද්දිත් රජිව් කියන චරිතයට නාමල් සර් තුමිඳුව තෝරාගෙනයි තිබුණේ. මම සර් දීපු පිටපත කියවද්දී මට ඒ චරිතය හරි සමීපයි වගේ දැනුණා. ඉතින් මම එක හුස්මට ඒ පිටපත කියවලා නාමල් සර්ට කතා කරලා ඒ චරිතය මට දැනුණු හැටි කිව්වා. ඊට පස්සෙ තමයි තුමිඳු එක්ක මේ වැඩේට මමත් සම්බන්ධ වෙන්නේ.

උත්තරා දේවි කියන්නේ දමිළ, කතෝලික තරුණියක්. ඒ වගේ චරිතයක් කලණිට මේ තරම් සමීප විදියට දැනෙන්නත් හේතුවක් තියෙන්න ඇති?

ඇත්තටම මමත් උත්තරා දේවි වගේම දමිළ කතෝලික කාන්තාවක්. අනික් අතට රජිව්ගේ චරිතයට තුමිඳු පණපොවන බවත් හිතේ තියන් මේ පිටපත කියවද්දී ඒක මගෙ හදවතට තවත් දැනෙන්න ඇති. ඇත්තටම තුමිඳුගෙයි මගෙයි විවාහ ජීවිතයටත් මේ කතාව යම් යම් තැන්වලදී හරි සමීපයි.

මේ කලණිගේ රංගනය මුහුවෙන පළමුවෙනි ටෙලි නිර්මාණය?

ඔව්. රංගන ශිල්පිනියක් විදියට මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය තමයි 'සහෝදරයා'.

ටෙලිනාට්‍ය රංගනයට ඔබ ආධුනික වුණත් වෙළෙඳ දැන්වීම්වල රංගනයට නම් ඔබ ආධුනික නැහැ නේද?

ඔව්. 'සහෝදරයා' ටෙලි නාට්‍යය සමඟ සම්බන්ධ වෙනකොටත් මම වෙළෙඳ දැන්වීම් විස්සකට වගේ රංගනයෙන් දායක වෙලා තිබුණා. නමුත් ටෙලිනාට්‍ය තුළ රංගනය කියන්නේ වෙළෙඳ දැන්වීමක රංගනයට වඩා සංකීර්ණ, හොඳ හැදෑරීමක් එක්ක කළ යුතු දෙයක්. මොකද වෙළෙඳ දැන්වීමකදී අපි එක චරිතයක් එකවර නිරූපණය කරලා අවසන් කරනවා. නමුත් ටෙලිනාට්‍යයක රංගනයේ යෙදෙද්දී අපිට එකම චරිතයක් ඇතුළෙ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක්.

කලණි රංගනයට පිවිසෙන්නේ හැදෑරීමකුත් එක්කද?

ඔව්. වෙළෙඳ දැන්වීම්වලට රංගනයෙන් සම්බන්ධ වීමත් එක්ක තමයි රඟපානවා කියන්නේ මොකක්ද, රඟපාන්නෙ කොහොමද වගේ දේවල් අධ්‍යයනය කරන්න ඕනෙ කියලා මට හිතෙන්නේ. ඉතින් මම ඒ ආසාව හින්දම තමයි නාමල් ජයසිංහ සර්ගෙ රංගනය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙන්නේ. ඒ තුළින් රංග කලාව පිළිබඳ හොඳ අධ්‍යයනයක යෙදෙන්න වගේම ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්නත් මට හැකි වුණා.

රංගනය ගැන කොච්චර හැදෑරුවත් මුලින්ම රඟපාද්දි පුංචි හරි චකිතයක් දැනෙන්න ඇති.

ඇත්තටම. මගේ චරිතයේ සැමියා විදියට රඟපාන්න මගේම සැමියාව මට ලැබිලා තිබුණත් පිරිසක් බලාගෙන ඉද්දි කැමරාව ඉස්සරහා ආදරය කරන්න ලොකු බයක් වගේම චකිතයකුත් හිතේ ඇති වුණා.

ඒ චකිතය නැති කරගෙන චරිතයට සාධාරණයක් කරන්න උදවු කරපු පිරිසකුත් ඇති?

ඒ ගැන නම් මතක් කරන්නම ඕනේ. තුමිඳු මට ඒ චකිතයක් බයක් හිතට නැඟුණු හැම වෙලාවකදීම මගේ ළඟින් ඉඳන් ඒ දේ නැති කරගෙන චරිතයට සාධාරණයක් කරන්න ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මේ නාට්‍යයේ මම හැර හිටපු අනිත් හැම කෙනෙක්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්. චාන්දනී අක්කා, චමිලා අක්කා, රොෂාන් අයියා වගේම කැමරාව හසුරුවපු ධම්මික අයියා සහ වේශ නිරූපණය කළ හර්ෂ අයියා ඇතුළු මුළු නිෂ්පාදන කණ්ඩායමෙන්ම මට අනගි සහයක් ලැබුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ බොහෝ තැන්වලදී මම රඟපානවා කියලා මටම නොදැනෙන තරමට හරි අපූරුවට නාමල් ජයසිංහ සර් රංගනය තුළ මාව හසුරුවලා තිබුණා.

සහෝදරයාට අමතරව මේ වෙද්දී ඔබ තවත් නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවද?

ඔව්. මම පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කරන තක්කිට තරිකිට චිත්‍රපටයේ ගුරුවරියකගේ චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව වෛද්‍ය කපිල විජේසූරිය මහතාගේ නිර්මාණයකටත් මේ වෙද්දි දායක වෙලා තියෙනවා.

ඒ කියන්නේ වෘත්තීය චිත්‍ර ශිල්පිනිය ඉස්සරහට වෘත්තීය රංගන ශිල්පිනියක් බවට පරිවර්තනය වෙයිද?

මම වැඩ කරන්නේ මානසික ගැටලු තියෙන දරුවන් එක්ක. ඒ නිසා මම මගේ රැකියාවට ගොඩක් ආදරෙයි. ඉතින් ඒක අත්හරින්න නම් කිසිම අදහසක් මට නැහැ. ඒ නිසා ඉදිරියේදීත් වෘත්තීයමය චිත්‍ර ශිල්පිනියක් විදියට ඉන්න ගමන් මට දැනෙන හැඟෙන චරිත ලැබුණොත් ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

කලණි කියන චිත්‍ර ශිල්පිනියට තුමිඳු කියන රංගන ශිල්පියාව මුණගැහුණු හැටි මතක් කළොත්?

ඇත්තටම මම මුලින්ම තුමිඳුව හඳුනා ගන්නේ තුමිඳු රඟපාපු නාට්‍යයක් බලන්න ගිහින්. ඒක තිබුණේ ලුම්බිණි රඟහලේ. ඇන්ටිගනී වේදිකා නාට්‍යය තමයි එදා පෙන්නුවේ. තුමිඳු හරිම දක්ෂ විදියට ඒකෙ රඟපෑවා. ඉතින් නාට්‍ය ඉවර වුණාම මට තුමිඳුට සුබ පතන්න ඕනෙ වුණා. එහෙම සුබ පතන්න ගිහින් තමයි මට මුලින්ම තුමිඳුව කතාබහ කරන්න මුණගැහෙන්නේ. එහෙම ඇතිවුණු හැඳුනුම්කම තමයි පස්සෙ කාලෙක ආදරයකට පෙරළිලා විවාහයක් දක්වාම පැමිණෙන්නේ.

එහෙම ආදරෙන් ළංවුණු දෙන්නගේ ජීවිතේට දැන් අලුත් බලාපොරොත්තුවකුත් එකතු වෙලා කියලා ආරංචියි?

ඔව්. අපි දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු හතරක්. විවාහ ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ දරුවෙක් ලැබුණම කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ හීනෙත් දැන් හැබෑ වෙන්නයි යන්නේ. ඒ වෙනුවෙන් මමයි තුමිඳුයි දෙන්නම හරිම ආසාවෙන් මඟ බලන් ඉන්න එක තමයි මේ දවස්වල කරන්නේ.

ඡායාරූප අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon