රසවින්දනය දියුණු කරන

  👤  1835 readers have read this article !
Published by : MB WEB 2017-12-16 16:18:43

මොකක්ද මේ දැයට මහිමය කියන්නේ..?

මට දරුවන් සමඟ අවුරුදු ගණනක අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එකතු කරගෙන දෙසැම්බර් කාලයේ නිවාඩු පාඩුවේ ඉන්න දරුවන්ට සෞන්දර්ය රසවින්දනය පිළිබඳව සිදුකරන වැඩමුළුව තමයි දැයට මහිමය කියන්නෙ.

ඇයි මෙහෙම වැඩමුළුවක් කරන්නෙ...?

දරුවන් ස්වභාවධර්මයෙන් සහ සෞන්දර්යයෙන් අයින් වෙලා ඉන්නෙ. විභාග මූලික අධ්‍යාපන රටාවකට තමයි ඔවුන් හුරුවෙලා ඉන්නෙ. අධ්‍යාපනයට පරිසරය විෂයක් විදියට එකතු කරලා තිබුණත් ඔවුන් කටපාඩම් කිරීමක් පමණයි කරන්නෙ. ඒ නිසා තමයි අපි විෂය නිර්දේශයේ තිබෙන සංකල්ප අරගෙන පරිසරයට ඇලුම් කරන දරුවකු නිර්මාණය කරන්න මේ වැඩමුළුව කරන්නෙ.

ඒ හේතුව විතරමද තියෙන්නේ..?

නැහැ. මේකට තවත් හේතුවක් තමයි විෂය නිර්දේෂය ඇතුළේ ගීත තිබුණත් දරුවන් එම ගීත ගායනා කරන්න යොමුවෙන්නේ නැහැ. ළමයි තරු වෙන්න හිතාගෙන හුඟක් වැඩිහිටි ගීත තමයි ගායනා කරන්නෙ. ඉතිං ඔවුන් ළමා ගීත ගායනා කරනවා අඩු නිසා මේවා බලන අනෙක් දරුවනුත් මේ දේවල්වලටම යොමුවෙනවා. ඒක නැති කරලා ඔවුන්ට හොඳ රසවින්දනයක් ලබාදෙන්නයි අපිට අවශ්‍ය.

මෙවැනි වැඩමුළුවක් හරහා දරුවන්ගේ රසවින්දනය දියුණු කරන්නේ ඔවුන්ගේ මවුපියන්ට එවැනි කාර්යභාරයකට වේලාවක් නැති නිසාද..?

ඔව්. ඇත්තටම දැන් මවුපියන් හුඟක් කාර්යබහුලයි. දරුවන්ගේ ලෝකයේ ඉන්න ඔවුන්ට වෙලාව නැහැ. ඉතිං දරුවො ඔවුන්ගෙ ලෝකයේ තනිවෙනවා.

කවදා කොහේදිද මේ වැඩමුළුව තියෙන්නෙ..?

දෙසැම්බර් 20 සහ 21 දෙදින තුළ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ උදෑසන 09.00 සිට සවස 4.00 දක්වා මෙය පවත්වනවා.

දවස් දෙකක් වැනි කෙටි කාලයක් තුළදී මේ අරමුණ ඉටු කරගන්න පුළුවන්ද..?

ඔව්, ඇත්තටම පුළුවන්. මොකද අපිට මේ වැඩමුළුවේදී කරන ක්‍රියාකාරකම්වලින් දරුවන්ගේ අභ්‍යන්තරික සිතුවිලි හඳුනගන්න පුළුවන්.

වැඩමුළුවෙන් අපේක්ෂිත අරමුණ ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද..?

එක් එක් දරුවාගේ හැකියාවන් මොනවද කියලා අපි අවසාන දිනයේදී කියනවා. එතකොට මවුපියන්ටත් අදහසක් ඇවිත් දරුවන්ගේ හැකියාව තිබෙන පැත්තට දරුවන්ව යොමු කරන්න පසුබිම නිර්මාණය වෙනවා.

ඕනෑම දරුවකුට මෙම වැඩමුළුවට සහභාගි වෙන්න පුළුවන්ද..?

අවුරුදු 07 සිට 14 දක්වා දරුවන්ට මේ වැඩසටහනට සහභාගි වෙන්න පුළුවන්. කථනය, භාෂණය වගේ විවිධ දක්ෂතාවලට දුර්වල ඕනෑම දරුවකුටත් මේකට සහභාගි වෙන්න පුළුවන්. නමුත් ළමයි 50ක් තමයි සහභාගි කරගන්නෙ. 071-8080233 දුරකතන අංකය ඔස්සේ විස්තර දැනගන්න පුළුවන්.

එතකොට සෑම දරුවකුටම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ නේද..?

මෙය පළාත් මට්ටමින් කරන්න හිතාගෙන ඉන්නවා. ගාල්ල, ගම්පහ ප්‍රදේශවලත් මේ වැඩසටහන සංවිධානය කරගෙන යනවා. එදා දවසට විතරක් මේ වැඩසටහන සීමාවෙන්නෙ නැහැ. මුළු ලංකාවෙම මෙය පවත්වන්න බලාපොරොත්තු වෙන නිසා අනෙක් දරුවන්ටත් මෙහි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

කවුද මේ වැඩසටහනට සහභාගි වෙන්නෙ...?

සිතාරා කුමුදුනි මාධ්‍යවේදිනිය, ශෂිකා, රවින්ද්‍ර තේනුවර, ලංකාවේ සිටින හත්වැනි පුරවැසියා වන ගාමිණී විජේසිංහ මහත්මයත් මෙයට සහභාගි වෙනවා.

මීට අමතරව ඔබ තව මොනවද කරන වැඩසටහන්..?

මවක මහිම සංසදය මඟින් තමයි අපි මේ වැඩසටහන් කරන්නෙ. ගැබිනි මවුවරුන් දැනුවත් කිරීම, අපිට උරුම අපේ ලෝකය කියලා පාසල්වලට ගිහින් දරුවන්ගෙ සෞන්දර්ය කුසලතා වර්ධනය කිරීම ආදී වැඩසටහන් අපි කරනවා.

මේ වෙනකොට ඔබ වේදිකාවටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැනත් කියමු..?

මම ‍ෙදාස්තර හොඳ හිත නාට්‍යයේ තණකොළපෙත්තකුගේ චරිතය රඟදක්වනවා. පාසල් යන කාලයේ ඉඳන්ම මම රංගන කටයුතුවලට දක්ෂයි. ඉතිං මෙයත් මට විශේෂ අත්දැකීමක්.

මොනවද අලුත් වැඩ..?

ජනවාරි මාසයේදී ටිකිරිගෙ අන්දරේ කියලා වැඩසටහනක් කරන්න ලෑස්ති වෙනවා. ජාතික රූපවාහිනියෙ තමයි විකාශය වෙන්නෙ.

ඔබගේ වෘත්තිය ගැනත් මතක් කළොත්..?

මම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරියක්. ගුරුවරියන් පුහුණු කිරීම, විෂය නිර්දේශ සකස් කිරීම වගේ වැඩකටයුතු රැසක් එහිදී සිදුකරනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon