ලැබුණු මුදලින් නංගිව වෛද්‍යවරියක් කරනවා

  👤  4345 readers have read this article !
Published by : MB WEB 2017-12-18 17:16:00

විශාල තරගකරුවන් පිරිසක් අබිබවා ගෙන ඇවිත් දැන් ඩ්‍රීම් ස්ටාර් කිරුළ සුනීරගේ අතේ. මොන වගේ හැඟීමක්ද තියෙන්නේ..?

දක්ෂතාව ගැන නිහතමානී සතුටක් තියෙන්නෙ. පළමු වටයට 15,000ක් විතර ආවා. එතකොට නම් අවසන් මහා තරගයක් ගැන හිතලවත් තිබුණෙ නැහැ.

පස්සෙ ප්‍රේක්ෂකයන් සහ විනිශ්චය මණ්ඩලය කිව්වා මම අවසන් මහ තරගයේ සිටිය යුතුයි කියලා. ඊට පස්සෙ මගේ ඔළුවෙත් ඒක ඒ විදියටම වැඩ කළා. ඉතිං විශාල පිරිසක් අබිබවා ඒමට වඩා මගේ දක්ෂතාවයෙන් ඉදිරියට ඒම ගැන සතුටු වෙනවා.

ජයග්‍රහණයත් එක්කම ආඩම්බර වුණාද..?

අපෝ නැහැ. මම හිටපු සුනීරම තමයි.

ලොකු මුදලක් වියදම් වෙන්න ඇති මේ ජයග්‍රහණයට..?

මම ගොඩක් මහන්සි වුණේ ගීත ගායනයට. ඒත් පවුලෙ අය, ගමේ අය හැම කෙනාම මට වචනවලින් කියන්න බැරි තරමටම උදවු කළා. මම කතෝලිකයෙක්.

ඒ වුණාට ස්වාමින් වහන්සේලා පවා කිසිම ආගම් භේදයකින් තොරව උදවු කළා. සමහර අය මගේ වැඩවලට නිවාඩු දැම්මා. ඒ නිසා එයාලගේ රැකියාවන් පවා අහිමි වුණා.

ජයග්‍රහණයත් එක්ක විශාල තෑගි ප්‍රමාණයකුත් සුනීරට ලැබුණානේ..?

ලැබුණ වටිනාම තෑග්ග තමයි මිනිසුන්ගෙ ආදරය. කුසලානයක්, වාහනයක්, ඉඩමක් වගේම gift vouchers ලැබුණා. තෑගි ගැන සතුටුයි.

ඔය ලැබිච්ච දේවල් තමන් හම්බ කරන්න හිටියා නම් තව කොච්චර කල් යයිද..?

ඒක නම් කියන්න අමාරුයි. හුඟක් ලොකු කාලයක් යයි. දැන් මේ වගේ තරගයක් නැතිව මේ වගේ දේවල් ලබා ගන්න සෑහෙන්න කාලයක් යනවා. අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ සෑහෙන්න දෙයක් මට ලැබුණා.

ජීවිතයේ හීනය වුණේ ගායකයෙක් වෙන්නද..?

මම පටන් ගත්තෙ ක්‍රිකට්වලින්. ක්‍රිකට් සහ සංගීත පුහුණු වීම් එකටම වැටුණා. ඉතින් සංගීතය පැත්තට වැඩිපුර නැඹුරු වුණා. සමස්ත ලංකා තරගවලින් හුඟක් ජයග්‍රහණ ලැබුණා. වාසනාවකට වගේ මේ තරගයටත් අයැදුම් කළා.

ඒ කියන්නෙ ඩ්‍රීම් ස්ටාර් ආවේ නැත්තම් ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද..?

ජාත්‍යන්තර කණ්ඩායමට නම් Play කරන එකක් නැහැ. කොහොමත් මම සංගීතය හදාරනවා.

මේ ගමනට සුනීරට පවුලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබුණේ..?

පුදුම විදියෙ ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තටම අපිට ලොකුවට සල්ලි තිබිලා නෙවෙයි මේවා කළේ. අයියලා, ලොකු අම්මා, හැම කෙනාම පුදුම විදියට උදවු කළා. අනික අපි ඉන්නෙත් අම්මගේ අක්කාගේ ගෙදර. මට අපේම ගෙයක් හදාගන්න ලොකු හීනයක් තිබ්බා.

දැන් ඔබේ හීන මාලිගාව හදන්න පහසුයි නේද..?

ඔව්, මේක තමයි ලැබුණ ලොකුම රුකුල. මම තනියෙන් කරන්න හිටියා නම් සෑහෙන කාලයක් යයි ඒකට.

දිගටම සංගීතය හදාරනවාද..?

ඔව්, ශාස්ත්‍රීය ඉන්දියානු සංගීතය හදාරන්න බලාපොරොත්තු වෙනවා.

සමහරු ක්ෂේත්‍රයේ පේන්න ඉන්නෙ ටික දවසයි. ඊට පස්සේ පේන්නවත් නැහැ ඔබටත් එහෙම වෙයිද..?

මං හිතන්නෙ එහෙම වෙන්නෙ තමන් කරන නිර්මාණත් එක්ක. නිර්මාණය හොඳ වුණොත් මිනිස්සු හැමදාම අපි එක්ක ඉඳියි. මිනිසුන්ගෙ හදවතට වදින නිර්මාණයක් කරන්න ඕන.

මෙච්චර කල් අනුන්ගෙ ගීත කිව්වේ. කවදද ඔයාගෙම ගීතයක් කරන්නෙ..?

මට දෙරණ ආයතනයෙන් කිව්වා ගීතයක් කරලා දෙන්නම් කියලා. කැලුම් ශ්‍රී මාල් සර් සින්දුවක් ලිව්වා. ළඟදිම ලස්සන ගීතයක් එළියට එයි.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

ඡායාරූප - වෙනුර චන්ද්‍රමලිත, දුමිඳු වනිගරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon