අතුල රන්සිරිලාල් ජාතික රූපවාහිනියට සමුදෙයි

  👤  2942 readers have read this article !
Published by : MB WEB 2017-12-19 17:01:17

• තිස් හතර වසරක සේවයට සමුදෙන්න සූදානම් වෙද්දී ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ලෑස්ති වෙනවා කියලා ආරංචියි?

ඔව්. රසාදරී පීරිස්, කමල් ගමගේ ප්‍රධාන කළුබෝවිල මගේ ගෝල පිරිසත් අනුර ධර්මසේන, දර්ශන පනංගල ප්‍රමුඛ රූපවාහිනි කණ්ඩායමත් උත්සවයක් සංවිධානය කරන බව පේනවා. ඒ වගේම මට ඕනා වුණා යන්න කලින් මෙතෙක් රටේ නොලියවුණ පොතක් ලියන්න. ඒ පොතත් එදාට එළි දැක්වෙනවා.

• කෘතියක් එළිදක්වන්න හිතුවේ ඔබ සේවයෙන් විශ්‍රාම ගන්න නිසාමද?

හඬ කැවීම් කලාව ලංකාවට ඇවිත් වසර තිස්පහක් විතර වෙනවා. මේ කාලය තුළ විවිධ අය හඬ කවනවා. හඬ කැවීම් කලාව ඉගෙන ගන්න කැමැති පිරිසකුත් ඉන්නවා.

තොටවත්ත මහත්තයා දීපු දැනුම ළඟින්ම ඉඳන් වැඩියෙන්ම ගත්ත ශිෂ්‍යයා හැටියට මට හිතුණා පොතක් ලියන්න. මේකට මාව පෙලඹුවේ කරුණාරත්න අමරසිංහ මහත්තයා.

එතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තමයි රූපවාහිනිය, ගුවන්විදුලිය සුළඟේ යනවා කියන එක. මුද්‍රිත මාධ්‍ය අනෙක් මාධ්‍යවලට වඩා ප්‍රබලයි. ඒ නිසා මම ගත්ත දැනුම පොතක් ලෙස ඉදිරිපත් කරන්න හිතුවා.

මේ කාර්යයට විශාල පිරිසක් මට උදවු කළා. පුෂ්පික පීරිස් තමයි තමන්ගේ වැඩක් වගේ මෙය ටයිප් කළේ. මගේ කණ්ඩායමම මෙයට සහයෝගය දුන්නා. සදීපා ආයතනයේ වන්නිආරච්චි මහත්මයා තමයි මෙය මුද්‍රණය කරන්නේ. ප්‍රකාශන කළමනාකාරිනිය ලක්මාලි. මේ හැමෝම දුන් සහයෝගය මතක් කරන්න ඕන.

• මේ කෘතියෙහි අන්තර්ගතය ගැන කිව්වොත්?

මේ පොතේ නම "හඬ කැවීම් කලාව". හඬ කැවීම් කලාව විෂය තියරියක් හැටියට කොහේවත් ලියැවිලා නැහැ. ටයි මහත්තයා එක්ක වැඩ කරපු කාලයේ ලබපු අත්දැකීම් අනාගත පරපුරට දෙන්න මම කල්පනා කළා.

ඒ අත්දැකීම් මේ කෘතියෙහි තියෙනවා. හඬ කැවීමට සිංහල නිර්වචනයක් තිබ්බේ නැහැ. හඬ කැවීම් කලාව නිර්වචනය කරන ගමන් එහි විෂය ප්‍රභේද ඉදිරිපත් කරලා තියෙනවා.

ටයි මහත්තයා එක්ක පිටපත් ලියපු හැටි, ඒවා කියලා දුන්න විදිය ආදිය මෙහි විස්තර වෙනවා. මම ලියපු කාටූන්, ලිවීමට ප්‍රිය කරන අයට කාටූන් ලියන්නේ කොහොමද කියලත් මෙහි පැහැදිලි කරලා තියෙනවා. විදේශ නිර්මාණයක් තෝර ගන්නේ කොහොමද? ඇයි එවැනි තෝරා ගැනීමක් අවශ්‍ය කියන දේත් මෙහි පැහැදිලි වෙනවා.

හඬ කැවූ ටෙලි නාට්‍ය ගීත සාහිත්‍ය ගැනත් මෙහි කියැවෙනවා. ප්‍රවීණ හඬ කැවුම්වේදීන්ගේ අදහස් කිහිපයකුත් මෙහි අන්තර්ගත කරලා තියෙනවා. මෙය අධ්‍යයනයට සුදුසු පොතක් වෙයි.

• වසර තිස් හතරකට ආසන්න කාලයක් ජාතික රූපවාහිනිය සමඟ වැඩ කරලා ඔබ සේවයෙන් විශ්‍රාම ගන්නයි සූදානම් වෙන්නේ. මේ තරම් දුර ආපු ඔබේ මුල ගොඩනැඟුණු විදිහ මතක් කරමු?

මම උපන්නේ කළුබෝවිල. මගේ තාත්තා වෙද මහත්තයෙක්. මගේ පාසල ඉසිපතන විද්‍යාලය. මම ඒ කාලෙ නාට්‍ය කළා. ඒවට සම්මාන ලබලත් තියෙනවා. මමත්, නිමල් බුලත්සිංහල මහත්මයත්, වජිර සේනානායක මහත්මයත්, පී. කුලරත්න මහත්මයත් කළුබෝවිල නාට්‍ය කලාවට සම්බන්ධ වුණා.

මගේ තාත්තගේ බෙහෙත් සාප්පුවේ සහායට හිටපු උඩුවල රත්නසිරි මහත්මයා තමයි 1983 ජාතික රූපවාහිනියට බැඳෙන්න ඇප්ලිකේෂන් එක මට ගෙනත් දුන්නේ. 1983 සම්මුඛ පරීක්‍ෂණ තුනක් පන්න ගත්තා. මම, දයාරත්න රටගෙදර, විමලරත්න අධිකාරි, සුනන්ද හෙට්ටිආරච්චි වගේ විශාල කණ්ඩායමක් රූපවාහිනි මාධ්‍යයේ මුල්ම නිෂ්පාදන සහකාරවරු ලෙස පුහුණු වුණා.

• ජාතික රූපවාහිනියේදී ඔබට මුල්ම ගුරු හරුකම් ලැබෙන්නේ කාගෙන්ද?

මාව මුලින්ම විසිවුණේ මඩවල එස්. රත්නායක මහත්මයා ගාවට. පාසල් කාලේ එතුමාගේ ගීත අහලා එතුමා යෝධයෙක් වගේ කෙනෙක් කියලා තමයි මම හිතාගෙන හිටියේ. නමුත් එතුමා හරි අහිංසක මනුස්සයෙක්. එතුමා ළඟ 1985 වෙනකල් හිටියා.

1985දී මම කළුබෝවිල සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ උගන්වමින් හිටියා. රසාදරී පීරිස්ලා, ජනරංජනලා ඒ කාලේ ඒ දහම් පාසලේ ශිෂ්‍යයෝ. තොටවත්ත මහත්තයා ඒ කාලේ මට කිව්වා" ඒ බං මට ළමයි ටිකක් දියන්කෝ, සින්දු කියන්න" කියලා. දීපිකා ප්‍රියදර්ශනී, රසාදරී පීරිස්, ජයරත්න මුණසිංහ, රවින්ද්‍ර මුණසිංහ, මහේෂ් කොස්තා වගේ විශාල පිරිසක් මම රූපවාහිනියට එක්කගෙන ආවා. ඒ කණ්ඩායම තමයි ‍ෙදාස්තර හොඳ හිත ගීත කණ්ඩායම.

• ටයිටස් තොටවත්තයන් සමඟ එක්ව වැඩ කරන්න ලැබුණ අවස්ථාව ගැන කිව්වොත්?

ඔය කාලේ ටයි මහත්තයයි මමයි මිත්‍ර වුණා. ඒ කාලේ එතුමා මගෙන් ඇහුවා "උඹ එනවද මගේ ළඟට" කියලා. පාලිත ප්‍රනාන්දු මාතර ආරච්චිගෙන් මම ඇහුවා ටයිටස් මහත්තයා ගාවට ගියොත් මට ප්‍රයෝජනයක් වෙයිද කියලා. "උඹ පලයන්. එතැනට ගියොත් වරදින්නේ නෑ" කියලා තමයි මගේ මිත්‍රයෝ කිව්වේ. ඒ ආපු ගමන තමයි මේ තාම ඉන්නේ.

• ටයිටස් තොටවත්ත මහත්තයාගෙන් විශාල අත්දැකීම් සම්භාරයක් ඔබට එකතු වෙන්න ඇති?

ඔව්. මම එතුමා එක්ක අවුරුදු දහහතක් වැඩ කළා. රොබින්හුඩ්වලින් එතුමා හඬ කැවීම ආරම්භ කළා. අහල පහළ ලොකු බාස් පොඩි බාස් නිර්මාණයෙන් එතුමා එක්ක ටෙලි නාට්‍යයක් කළා. එතුමා එක්ක විශාල වැඩ කොටසක් මට කරන්න ලැබුණා.

• ටයිටස් තොටවත්තයන් කොයි වගේ පුද්ගලයෙක්ද?

තොටවත්ත මහත්මයා කියන්නේ විශ්වවිද්‍යාලයක්. එතුමා උදේ හතරට නැඟිටිනවා. මම උදේ පහ වෙද්දී වැඩට ඉන්න ඕන. මමයි අනුර ජයසේකරයි ඒ වෙලාවේ ඇවිත් ලියන්න පටන් ගන්නවා. ටයිටස් මහත්තයා එද්දී අපි ඇවිත් මැදිරිය අතුගාලා සුද්ද කරලා තියන්න ඕන. ඒ අභ්‍යාසය අපිට වැදගත් වුණා. ඒක අපි තරහට ගත්තා නම් අද හඬ කැවීම් අංශයක් මේ තරම් දුර එන එකක් නැහැ. මම හඬ කැවීම් අංශය දියුණු කරලා ස්ටූඩියෝ තුනක් දක්වා එය දියුණු කළා. ඒ ගමනේ පන්නරය තොටවත්ත මහත්තයාගෙන් උගත් දේ. ඒ වගේම එතුමාට පුදුම දැක්මක් තිබ්බේ. එතුමාගෙන් ගත්ත අත්දැකීම් නිසා තමයි මම මේ තැන ඉන්නේ.

• වැඩිම ප්‍රේක්‍ෂක පිරිසක් වැලඳ ගත්ත ඔෂින්, සුජාත දියණිය වැනි නිර්මාණ රාශියක් ජාතික රූපවාහිනිය හරහා ප්‍රේක්‍ෂකයෝ අතරට ගේන්න ටයිටස් තොටවත්තයන් සහ ඔබ මූලිකත්වය ගත්තා. ඒ තෝරා ගැනීම් ගැනත් කතා කරමු.

එතුමාගෙන් පසුව තෝරා ගැනීම් විශාල ප්‍රමාණයක් කළේ මම. මගේ කණ්ඩායම තමයි දෙබස් කැව්වේ. වජිර කුමාරි විතානගේ, අමාලි විජේසේකර, පී. කුලරත්න, තුසිත විදානපතිරණ, අසංග කුමාර, බුද්ධික සම්පත්, සුමුදු විජේවර්ධන ඒ කණ්ඩායමට තමයි මම මෙය විටින් විට මාරු කර කර බාර දුන්නේ. මෙහි දෙවැනි ප්‍රධානියා අනුර ධර්මසේන මහත්මයා. එතුමාගේ සහයෝගයත් මට නිරන්තරයෙන් ලැබෙනවා. ජපානයෙන් වැඩසටහන් 449ක මිලියන දහයක ව්‍යාපෘතියක් අරගෙන දීලා තමයි මම යන්නේ. මේ 449 දෙබස් කවන්න තියෙනවා. ඔවුන්ට අවුරුදු දෙකක විතර අඛණ්ඩ වැඩ කොටසක් ලෑස්ති කරලා මම යන්නේ.

• මේ තාක් කළ වැඩ කොටස ගැන ඔබට තෘප්තියක් තියෙනවාද?

මට තව දෙයක් කරන්න ඕන කියලා හිතෙනවා. ඕනම මිනිහෙක් යම් තැනකින් ගියාට පස්සේ ඒ තැන පවත්වාගෙන යන තැනට වැඩ කළා නම් ඒක තමයි තෘප්තිය. මම විශ්වාස කරනවා මම ඒ තැනට වැඩ කළා කියලා. මගෙන් ඉල්ලුවොත් මම ඉදිරයටත් උපදෙස් දෙනවා. මම හදපු පිරිස ඉදිරියට වැඩ කරයි කියලා මම හිතනවා. ටයි මහත්තයාගෙන් මම බැට්න් එක ගත්තා වගේ ඊළඟ පිරිසත් ඒ බැට්න් එක ගනියි. නිර්මාණශීලීව වැඩ කළොත් හොඳයි.

• සමහරු තමන්ට ලැබෙන දේවල් අතහරින්න ලෝභයි. ඔබට මේ අතහැරීම කොයි විදිහටද දැනෙන්නේ?

මම අතහැරියේ දැනට අවුරුදු කිහිපයකට කලින්. විමලරත්න අධිකාරි මහත්තයා ගියාට පස්සේ ගොඩක් කල් හිස් වෙලා තිබුණු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වැඩසටහන් තනතුර මට ලැබුණා. මම ඒක මාස අටක් විතර කළා. ඒක තනිකර වැඩසටහන් පරිපාලන රස්සාවක්. මට ඒ කාලේ සින්දුවක්වත් ලියන්න බැරි වුණා. මම සභාපතිතුමාට කිව්වා මේක මට හරියන්නේ නැහැ. වෙන කාටහරි දෙන්න කියලා. ඒත් එයාලා ඒ තනතුරේ මාව මාස ගාණක් තියාගෙන හිටියා. ඒ නිසා මම යනවා කියලා ලියුමක් ලිව්වා. ඊට පස්සේ මාව නිර්මාණ කරගෙන ඉන්න කියලා පරණ තනතුරටම දැම්මා. මට අතහැරීම කියන්නේ අලුත් දෙයක් පටන් ගැනීම.

• මේ අතහැරීමෙන් පසුව ඔබේ අලුත් පටන් ගැන්මකුත් ඇති එහෙනම්?

මාධ්‍ය පිළිබඳ ඇකඩමියක් පටන් ගන්න අදහසක් මට තියෙනවා. ලංකාවේ ඉන්න ප්‍රවීණ සම්පත් දායකයන් වන සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, ජැක්සන් ඇන්තනී, විමලරත්න අධිකාරි, සුනිල් ආරියරත්න වගේ පිරිසක් මෙයට සම්බන්ධ කරගන්න අදහසක් තියෙනවා. මෙහි උගන්වන එක කොටසක් තමයි හඬ කැවීම. හඬ කැවීම් පිටපත් ලිවීම, ටෙලි නාට්‍ය රචනය, ටෙලි නාට්‍ය නිර්මාණය, රූපවාහිනි වාර්තා වැඩසටහන් නිර්මාණය, ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය වගේ විශාල විෂය පථයක් එක්ක මේ ඇකඩමිය පටන් ගන්න පිඹුරුපත් සකස් කරමින් යනවා.

• ඉදිරි වැඩ ගැන ඔබට තවත් සැලැස්මක් ඇති?

මට අදහසක් තියෙනවා ‍ෙදාස්තර හොඳ හිත චිත්‍රපටය හදන්න. ඒක මම මෙහිදී කරන්න හැදුවා. හැබැයි කාලය මට එයට ඉඩ දුන්නේ නැහැ. නමුත් මම එය කොහොම හරි කරනවා. තොටවත්ත මහත්තයා රූපවාහිනියේදී මහා වංශය හදන්න හැදුවා. අවස්ථා තුනකදී එය යෝජනා කළත් එය ඉෂ්ට වුණේ නැහැ. නමුත් කාලය පැමිණිලා තියෙන්නේ දැන් මහා වංශය හදන්න. මට මේක තනියෙන් කරන්න බැහැ. ටයිටස් මහත්තයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න පුළුවන් වුණොත් මට සතුටුයි. ඒක දැවැන්ත වැඩක්. මහා සිනමාවේදීන් එකතු වෙලා මේ වැඩේ කරන්න උනන්දු වුණොත් ලොකු දෙයක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon