හිරු මෙඩිකල් සෙන්ටර් සමඟ නිවසට එන වෛද්‍ය අමිල සහ දිනුජා

  👤  2344 readers have read this article !
Published by : MB WEB 2017-12-21 17:04:12

හිරු Medical Centre වැඩසටහන මේ වෙද්දී ජනතාව අතරෙ කතාබහට ලක්වන වැඩසටහනක් වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ ලැබෙන ප්‍රතිචාර ගැන?

ඔව් ඇත්තටම හිරු 'මෙඩිකල් සෙන්ටර්' කියන්නේ ලංකාව ඇතුළෙ මෙතෙක් නොවිච්ච විදියේ ඉතා දැවැන්ත නිර්මාණාත්මක වෛද්‍ය වැඩසටහනක්. මේ නිසාවෙන්ම මං හිතන්නෙ මිනිස්සු මේ වැඩසටහන හරි අවධානයකින් බලන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒත් එක්කම ලැබෙමින් පවතින ප්‍රතිචාර ගැන මට ලොකු සතුටක් තිබෙනවා. විශේෂයෙන්ම කාලෙකට පස්සේ මාධ්‍යයට ඇවිත් කරපු පළමුවැනි වැඩේම මෙතරම් සාර්ථක වීම ගැන පෞද්ගලිකව විශාල සතුටක් හිතට දැනෙන්නේ.

කෙටි කාලයක් තුළ Medical Centre මෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්න හේතු ඇති?

මං හිතන්නේ Medical Centre තුළ අනිත් සාම්ප්‍රදායික වෛද්‍ය වැඩසටහන් තුළ නැති අලුත් වෙනස්කම් රැසක් තිබීම තමයි මේකට හේතු වෙන්න ඇත්තේ. පැය දෙකක කාලයක් මේ වැඩසටහන විකාශය වෙනවා. ඉතින් ඒ කාලය තුළ අපි වෛද්‍යවරු කිහිප දෙනෙක්ම සම්බන්ධ කර ගන්නවා.

ඒ අතරේ රෝගීන්වත් ගෙනත් සජීවී උදාහරණ අරගෙනම මේ දේවල් ගැන කතා කරනවා. මෙහි පසුබිම් හැඩතල කැමරා කෝණවල ඉඳලම අපි අර සාම්ප්‍රදායික වෛද්‍ය වැඩසටහනක තියෙන ඇල්මැරුණු ස්වභාවයෙන් එහාට ගිය අපූර්ව බවක් එක් කරලා තිබෙනවා. ඉතින් වෙනදාට වෛද්‍ය වැඩසටහනක් නරඹපු නැති අයත් දැන් මේක බලන්න පටන් අරගෙන තියෙනවා. මේ වැඩසටහනේ ආකෘතියෙ තියෙන වෙනස ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් වීම වගේම මේ කාලෙ ලෙඩ රෝගවල වැඩි වීමත් එක්ක මේ වැඩසටහනට තිබෙන අවධානය වැඩි වෙන්න ඇති කියලා මම හිතනවා.

මේ අපූරු වෛද්‍ය වැඩසටහනේ සංකල්පය කාගෙද?

මේක මූලිකව හිරු ටීවී මාධ්‍ය ආයතනයේ සංකල්පයක්. හිරු ටීවී අධ්‍යක්ෂ වැඩසටහන්, විරාජ් වැලිවත්ත, අරුණ ජයවර්ධන සහ චාමර ඇතුළු පිරිසකගේ දායකත්වයෙන් තමයි මේ වැඩසටහන මූලිකව නිර්මාණය වෙන්නේ. ඒ වගේම දමිත් සහ සුරේෂ් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ.

ඔබව නිවේදනය තුළින් පුංචි තිරයේ දැකගන්න ලැබෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ නේද?

ඔව්. ඇත්තටම අවුරුදු දහයකට පස්සේ තමයි මම නැවත නිවේදිකාවක් විදියට රූපවාහිනියට එන්නේ. 2008දී තමයි මම වෛද්‍යවරියක් විදියට වැඩ භාර ගත්තේ. ඒ වෙද්දිත් මම ස්වර්ණවාහිනියේ නිදහස් නිවේදිකාවක් විදියට වැඩ කරමිනුයි හිටියේ. නමුත් මගේ පළවෙනි පත්වීම පොළොන්නරුව මහ රෝහලට ලැබීමත් එක්ක මට කොළඹින් අෑත් වෙන්න සිදුවෙනවා. ඒ එක්කම තමයි මම නිවේදන ක්ෂේත්‍රයෙනුත් අෑත් වෙන්නේ. ඊට පස්සෙ මම විවාහ වුණා. දරුවො ලැබුණා. මේ දේවලුත් එක්ක නිවේදනයට ලොකු විරාමයක් දෙන්න මට සිදුවෙනවා.

ඒ විදියට නිවේදනයෙන් අෑත් වන ඔබ මෙතරම් කාලයක් යළි නිවේදන කටයුතුවලට සම්බන්ධ නොවුණේ ඔබේ සැමියා නිවේදනයෙන් අෑත් වෙන්න කිව්ව නිසාද?

අනේ නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මොකද මගේ සැමියා ප්‍රදීප් ධර්මදාස, ඔහුත් රූපවාහිනියට, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඔහු එහෙම කිසිම විදියකින් බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. ඔහු මට උපරිම නිදහස දීලා තියෙනවා මං කැමැති දේවල් කරන්න. ඒ වෙනකොට මම අවුරුදු හතක් ස්වර්ණවාහිනියේ වැඩකරලා තිබ්බා. ඉතින් වෛද්‍ය පත්වීම ලැබුණම මට වෛද්‍ය වෘත්තියට මුල් තැන දීලා කටයුතු කරන්න ලොකු වුවමනාවක් තිබ්බා. ඒ වුවමනාව සහ ආශාව එක්ක තමයි මම නිවේදනය ටික කාලෙකට නවත්වන්න හිතුවේ.

ඔබේ විෂයත් එක්ක ගැළපෙන නිසාද Medical Centre ඔබ කැමැති වර්ගයේ වැඩසටහනක් බවට පත් වෙන්නේ?

ඇත්තටම පෞද්ගලිකව මම ආසයි වෛද්‍ය නොවන වැඩසටහන් කරන්න. මම ස්වර්ණවාහිනියේ හිටපු කාලය තුළත් වෛද්‍ය වැඩසටහන් කියලා කරලා තිබ්බෙ එකක් හෝ දෙකක් විතරයි. වෛද්‍ය වැඩසටහන්වලට වඩා මම කළේ කාලීන සමාජ ප්‍රශ්න ගැන කතා කරන වැඩසටහන් සහ කාන්තා වැඩසටහන්. මොකද වෛද්‍යවරියක් විදියට ඒ ක්ෂේත්‍රය තුළ දේවල් නැවත නිවේදිකාවක් විදියටත් කතා කරන්න ලොකු කැමැත්තක් මට නැහැ. හැබැයි හිරු Medical Centre අර සාම්ප්‍රදායික වෛද්‍ය වැඩසටහන් ක්‍රමයට එහා ගිය වෙනසක් එක්ක සිදුවන වැඩක් නිසා තමයි මම කැමැති වර්ගයේ වැඩසටහනක් බවට පත් වෙන්නේ.

අවුරුදු දහයකට පස්සේ යළි නිවේදනයට පිවිසීම අභියෝගයක් වුණේ නැද්ද?

ඒක අභියෝගයක්. මුල් වැඩසටහන් කිහිපයම මට යම් නුහුරු බවක් දැනුණා. මොකද අවුරුදු දහයක්ම නිවේදන ක්ෂේත්‍රයෙන් බැහැරව ඉඳලා යළි පැමිණීම අලුත් අත්දැකීමක්. නමුත් මම කොහොමටත් හැම වැඩසටහනක්ම අලුත් අත්දැකීමක් සහ අලුත් අභියෝගයක් විදියටයි භාර ගන්නේ. ඒ නිසාම මේ වැඩසටහන තුළ මගේ වෘත්තීයමය ක්ෂේත්‍රයට අදාළ විෂය කරුණුම කතාබහ කෙරුණත් ඒ ගැන පෙර සූදානමකින් සහ හොඳ අධ්‍යයනයකින් පසුවයි මම වැඩසටහනට මුහුණ දුන්නේ. අනිත් අතට මම කරන හැම වැඩසටහනක්ම නැවත නරඹලා මගේ අඩුපාඩු මං විසින්ම හදා ගන්න පුරුද්දක් හැමවිටම තිබ්බා. ඉතින් ඒ පුරුද්දත් එක්ක මේ අභියෝගය සාර්ථකව ජයගන්න හැකි වුණා කියලා මම විශ්වාස කරනවා.

නිවේදනයට තියපු විරාමයෙන් පස්සේ යළි නිවේදනයට සම්බන්ධ වීමට ඔබට පළමු ආරාධනාව ලැබෙන්නේ හිරු Medical Centre තුළින්ද?

නැහැ. මම නිවේදනයෙන් අෑත් වෙලා හිටපු කාලය තුළත් විවිධ වැඩසටහන් නිවේදනයට මට ආරාධනා ලැබුණා. නමුත් කරන්නම ඕනෙ කියලා ආස හිතෙන විදියේ වැඩසටහනක් මට ලැබුණෙ නැහැ. එහෙම ඉද්දි තමයි මට හිරු ටීවී එකෙන් මේ Medical Centre වැඩසටහනට ආරාධනා කරන්නේ. මේ වැඩසටහන මම කැමැති වර්ගයේ වැඩසටහනක් වීම නිසා තමයි මම මේ වෙනුවෙන් සම්බන්ධ විය යුතුයි කියන තීරණයට එන්නේ.

වෛද්‍යවරියක් විදියට මේවන විට ඔබේ වැඩකටයුතු ගැන මතක් කළොත්?

මම දැනට මහරගම 'අපේක්ෂා' රෝහලේ තමයි සේවය කරන්නේ. මම මේ වෙද්දි මගේ පශ්චාත් උපාධිය පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරතවෙමිනුයි ඉන්නේ.
පවුලේ විස්තර ගැනත් කියමු.

මට පුංචි පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු දෙකයි. චූටි පුතාට තාම මාස හතයි. ඉතින් ඒ දෙන්නගේ වැඩ කටයුතුත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා. මගේ සැමියා ප්‍රදීප්. ඔහුත් මේ වෙද්දි ටිකක් වෙනස් විදියේ කලා නිර්මාණ කටයුතුවල නිරත වෙමිනුයි ඉන්නේ. මමත් මගේ වෘත්තීය කටයුතු, අධ්‍යයන කටයුතු සහ නිවේදන කටයුතු නිසා වැඩ අධික කාලයක් ගෙවෙමින් තියෙන්නේ.

දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙක් විදියට සහ වෛද්‍යවරියක් විදියටත් වගකීම් ඉටු කරමින් නිවේදනයත් සිදු කරන්න ඔබේ සැමියගෙන් ලැබෙන්නේ මොන වගේ සහයක්ද?

ඇත්තටම ප්‍රදීප් මට සම්පූර්ණ නිදහස දීලා තිබෙනවා. හැම වෙලාවකම මම කැමැති දෙයක් කරන්න. දරුවන්ගේ සහ මගේ වෘත්තීයමය වැඩ කටයුතුත් එක්ක මම නැවත නිවේදනයට යොමු වෙනවද කියන එක දෙපාරක් හිතන්න ඕනෙ විදියේ ප්‍රශ්න සහගත තත්ත්වයක මම ඉන්න කොට ප්‍රදීප්ම තමයි මාව දිරිමත් කළේ මෙය කරන්න කියලා.

රුවින්ද වීරසිංහ
ඡායාරූපය - සසඳ ලියනාරචචි්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon