ලෝක යුද සමයේ අතුරුදහන් වූ ඔස්ට්‍රේලියානු සබ්මැරීනයක් හමුවේ

  👤  1931 readers have read this article !
Published by : MB WEB 2017-12-22 13:47:58

වසර 103ක් මුළුල්ලේ කරන ලද ගවේෂණයකින් අනතුරුව ඔස්ට්‍රේලියානු පළමු නාවුක සබ්මැරීනයේ සුන්බුන් සොයාගෙන තිබේ.

පළමු ලෝක යුද්ධයේදී මිත්‍ර හමුදාවන්ට අහිමි වූ මුල්ම සබ්මැරීනය වූ HMAS AE-1, ඔස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 35 දෙනෙක් සමග 1914 සැප්තැම්බර් 14 දින පැපුවා නිව්ගිනියාවට ආසන්න මුහුදේදී අතුරුදහන් විය.

13 වෙනි උත්සාහයේදී යාත්‍රාව සොයාගන්නා ලද්දේ පැපුවා නිව්ගිනියාවට අයත් ඩියුක් ඔෆ් යෝක් (Duke of York) දිවයිනට ආසන්නවය.

මෙම සොයාගැනීම මගින් ඔස්ට්‍රේලියාවේ පැරණිතම නාවුක අභිරහස විසඳෙන බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

"මෙය ඔස්ට්‍රේලියානු නාවුක සමුද්‍රීය ඉතිහාසයේ ඉතා වැදගත්ම සොයාගැනීමක්," බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමතිනී මරීස් පේන් (Marise Payne) සඳහන් කළාය.

"ඒක පළවෙනි ලෝක යුද්ධයේදී රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට සහ මිත්‍ර හමුදාවන්ට අහිමි වූ පළමු සබ්මැරීනය. අපේ ජාතිය සහ මිත්‍රයන් අත්විඳි ප්‍රබල ඛේදවාචකයක්."

පර්යේෂණ කණ්ඩායම විසින් මියගිය පිරිස සිහිපත් කරමින් කෙටි අනුස්මරණ මෙහෙයක් පැවැත්වූ බව ද ඇමතිවරිය ප්‍රකාශ කළාය.

මේ සොයා ගැනීම සඳහා මුහුදු පතුලේ සිට මීටර් 40ක් ඉහළින් පාවෙන ඩ්‍රෝනයක් පර්යේෂණ කණ්ඩායම විසින් යොදා ගනු ලැබිණ.

විනාශ වූ යාත්‍රාව හමුවූයේ මීටර් 300ක් ගැඹුරු මුහුදු පතුලේ තිබියදීය.

මියගිය කාර්ය මණ්ඩලයෙන් පැවත එන්නන් සම්බන්ධ කරගැනීමට ඔස්ට්‍රේලියාව උත්සාහ කරනු ඇත.

"මෙය එම කාර්ය මණ්ඩලයේ පවුල්වලට සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ට සැනසීමක් ගෙනදෙනු ඇතැයි මම ඇත්තටම විශ්වාස කරනවා. සමහරවිට, සබ්මැරීනය ගිලීයාමට හේතුවත් කාලයත් සමගම අපට සොයාගන්නට පුළුවන් වේවි," මරීස් පේන් වැඩිදුරටත් සඳහන් කළාය.

සබ්මැරීනයේ ආරක්ෂාව පිණිස එය පිහිටි ස්ථානය නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැති නමුත්, එය එක් කොටසක් ලෙස පවතින බව පෙනීයයි.

සබ්මැරීනය නැවත ඔස්ට්‍රේලියාවට රැගෙනයාමට සැලසුම් කර නැතත්, එය ගිලීයාමට හේතුව තහවුරු කරගැනීමට කටයුතු කෙරෙනු ඇත.

එය සොයාගැනීම පිණිස සියවසක් මුළුල්ලේ දියත් කරන ලද මෙහෙයුම් 12කදීම සබ්මැරීනයේ අවසන් නවාතැන සොයාගැනීමට නොහැකිවිය.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon