ඉගැන්වීම කියන්නේ මගේ ෆැෂන් එක

  👤  2506 readers have read this article !
Published by : MB WEB 2017-12-22 16:15:47

අපි ඔබව හඳුනාගන්නේ හිරු මෙඩිකල් සෙන්ටර් වැඩසටහනින්. වෛද්‍ය අමිල, කොහොමද ප්‍රසන්ටර් කෙනෙක් වුණේ..?

හිරු මෙඩිකල් සෙන්ටර් වැඩසටහනට මට ආරාධනා ලැබුණේ විරාජ් වැලිවත්තගෙන්. දමිත් සහ සුරේෂ්ටත් මේ වැඩසටහන ගැන යම් සැලැස්මක් තිබ්බා. ඔවුන් එක්ක සාකච්ඡා කරලා තමයි මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ.

අපි වෛද්‍ය වැඩසටහන් දැකලා තියෙනවා. හැබැයි හිරු මෙඩිකල් සෙන්ටර් වෙනස් විදියේ වැඩක්...?

හිරු නාළිකාවට ඕන වුණා අලුත් දෙයක් කරන්න. මොකද ලංකාවේ රාත්‍රි කාලයේදී විකාශය වන කිසිම වෛද්‍ය විද්‍යාත්මක වැඩසටහනක් තිබුණේ නැහැ. ඒක අඩුවක්. අනෙක් නාළිකාවල වෛද්‍ය විද්‍යාත්මක වැඩසටහන් තිබුණා. ඒවා බොහෝ වෙලාවට උදේ සහ දවල් කාලයේ තමයි විකාශය වුණේ. ගෙදර ඉන්න පිරිමි පාර්ශ්වය, දරුවන්, රැකියාවට යන තරුණ තරුණියන් සහ ගෘහණිය මේ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය කරන්න තියෙන හොඳම වෙලාව තමයි රාත්‍රි 9.00න් පස්සේ වෙලාවෙ. ඒ කාලය තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්න යොදා ගත්තේ.

එහි හැඩය සකස් කිරීමත් විශේෂයි නේද..?

අපි මේ වැඩසටහන නව ආරකින් ඉදිරිපත් කරන්නේ. ඒ ඒ විෂයයන්වල ප්‍රවීණ වෛද්‍යවරු අපි ගෙන්වනවා. ඒ වගේම මෙහි තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි යම් යම් රෝග ගැන ජනතාව හිතන විදිහත් අහලා එයත් සාකච්ඡාවට යොදාගන්නවා. වෛද්‍යවරු විදිහට අපි රෝගයක් දිහා බලද්දි මිනිස්සු රෝගය දිහා බලන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. එතකොට අපිට රෝගියා දිහා බලන්න ලේසියි. රෝගයකට ප්‍රතිකාර කරනවා කියන්නේ බෙහෙත් දෙන එකම විතරක් නෙවෙයි. රෝගියාට එය අවබෝධ කර දෙන එක, රෝගියාගේ හිත හදන එක, ඒ වගේම ඒකට ප්‍රවේශ වෙන්න නම් රෝගියා ඒ රෝග ගැන හිතන විදිහත් අපි බලන්න ඕන. ඒ වැඩසටහන තුළ ඉදිරිපත් කරන කුඩා වීඩියෝපටත් විශේෂයි. වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අපි වැඩසටහන කරන්නේ.

ඔබ මේ වැඩසටහනේදී නිකන්ම නිකන් වෛද්‍යවරයෙක් නෙවෙයි. ඔබ එය ඉදිරිපත් කරන්නෙක්. මෙය මාධ්‍ය සමඟ ගනුදෙනු කරන්න ඔබට ලැබුණු පළමු අවස්ථාවද..?

මම මුද්‍රිත මාධ්‍ය එක්ක වැඩ කරලා තියෙනවා. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ ඉඳන් ලංකාවේ ජාතික පුවත්පත් රැසකට වෛද්‍ය විද්‍යාව සහ ලෝක දේශපාලනය ගැන ලිපි ලිව්වා. විද්‍යුත් මාධ්‍ය සමඟ සීමිත අත්දැකීම් ප්‍රමාණයක් තමයි මට තිබුණේ. දැනුම මිනුම රියැලිටි වැඩසටහන් කිහිපයකට සහභාගි වෙලා තියෙනවා. ඒ ඇරෙන්න වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ පළමු වතාවට.

ඒ අවස්ථාව භාරගනිද්දි අභියෝගයක් දැනුණෙම නැද්ද..?

පොඩි චකිතයක් නොතිබුණා නෙවෙයි. මම විශ්වවිද්‍යාලයේ සහ හෙද විද්‍යාලයේ සහ අනෙක් සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ගොඩක් දේශන කරනවා. ඉගැන්වීම කියන්නේ මගේ ෆැෂන් එක. ඒක මම ගොඩක් කැමැත්තෙන් කරන දෙයක්.

කොයිතරම් ගැඹුරු මාතෘකාවක් වුණත් සරල මූලිකාංගවලට ගිහින් එය පැහැදිලි කිරීම තමයි මගේ ක්‍රමය. හිරු මෙඩිකල් සෙන්ටර් එකේදිත් මම අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. එය මේ වැඩසටහන සාර්ථක වෙන්නත් කාරණයක්.

මේ වැඩසටහනෙන් ඉලක්ක කරගත් විශේෂ පිරිසක් ඉන්නවද..?

මේ වැඩසටහන වෛද්‍ය සිසුන්, හෙද සිසුන් උසස් පෙළ සිසුන් ගොඩක් බලනවා. කිසිම වෛද්‍ය විද්‍යා පසුබිමක් නැති විද්‍යාව පිළිබඳ වුණත් දැනුම මඳ සාමාන්‍ය මනුෂ්‍යයකුටත් මෙය බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. වෛද්‍යවරයෙක්ට, හෙදියකට පවා මේ වැඩසටහන බලලා ගන්න දෙයක් තියෙනවා. මේ හැම දෙනාම ඉලක්ක කරගෙන තමයි අපි මේ වැඩසටහන කරන්නේ. අපිට ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා මේ වැඩසටහන බොහෝ දෙනෙක් නරඹනවා කියලා.

ඒ කියන්නේ වැඩසටහනෙන් ඉලක්ක කරගත් අරමුණට යන්න මේ වෙද්දි හැකියාව ලැබිලා තියෙනවා කියන එකද..?

අපේ ඉලක්ක අරමුණට ළඟා වෙලා තියෙනවා කියලා අපි හිතනවා. මට හමුවන පිරිස ගත්තොත් වෛද්‍යවරු, හෙදියන්, සිසුන් මේ වැඩසටහන ගොඩක් බලනවා. ගොඩක් ජේ‍යෂ්ඨ වෛද්‍යවරු මට කියලා තියෙනවා ඔවුන් ඔවුන්ගේ ළමයින්ටත් මේ වැඩසටහන පෙන්වනවා කියලා. මගේ ළඟට එන රෝගීන් පවා මේ වැඩසටහන බලනවා කියලා ප්‍රතිචාර දක්වනවා.

වෛද්‍ය දිනුජාගෙන් ඔබට මොනවගේ සහායක්ද ලැබෙන්නේ..?

දිනුජා කියන්නේ මගේ පැරැණි මිතුරියක්. කොළඹ වෛද්‍ය පීඨයේමයි ඇය හිටියේ. ඒ කාලේ ඉඳන්ම මම ඇයව හඳුනනවා. අපි එකට වැඩ කරලා තියෙනවා. අපි අතර තිබෙන අනේ‍යාන්‍ය අවබෝධය නරඹන ප්‍රේක්ෂකයන්ටත් තේරෙනවා. දිනුජා මට වඩා මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ කෙනෙක්. මමත් ඇයගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන. වෛද්‍යවරු දෙන්නෙක් මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සුවිශේෂත්වයක්.

ඔබ වෛද්‍යවරයෙක් ලෙස ගොඩ නැඟුණ පසුබිම ගැනත් කතා කරමු..?

2000 වර්ෂයේ තමයි මම උසස් පෙළ කළේ. කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තා. ප්‍රජා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තමයි මගේ විශේෂඥතාව තියෙන්නේ. 2011දී පශ්චාත් උපාධිය මම සම්පූර්ණ කළා. මේ වසර මුලදී මගේ විශේෂඥ උපාධිය සම්පූර්ණ කළා. දැනට මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ සේවය කරනවා.

ඔබේ පවුලෙන් ඔබට ලැබෙන සහාය ගැන මතක් කළොත්..?

මම විවාහකයි. මගේ බිරිය ගෘහණියක්. එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පුතාට අවුරුදු හතරයි. පුතාගේ වැඩත් බලාගෙන විශාල සහායක් බිරිය මට ලබාදෙනවා.

ඒ වගේම මට මිනිසුන්ව තේරුම් ගන්න අම්මාගෙන් ලැබුණ සහාය වැදගත්. මගේ තාත්තා ලෝකයේ බොහෝ දේවල් හොයනවා. ඒක මගේ සාමාන්‍ය දැනුම දියුණු වෙන්න බලපෑවා. ඔවුන්ගෙන් ලැබුණ සහායත් අනිවාර්යයෙන් මේ වෙලාවේ මතක් කළ යුතුයි.

වෛද්‍යවරයෙක් ලෙස වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසත් කටයුතු කිරීමේදී සියලු වැඩ කටයුතු සමබර කරගන්න අපහසුවක් නැද්ද..?

කාලය කළමනාකරණය කර ගැනීමත් එක්තරා කලාවක්. මම දැනටත් ඉඩ ලැබෙන පරිදි පුවත්පත්වලට ලියනවා. සමාජසේවා වැඩවලටත් පුළුවන් තරමින් සම්බන්ධ වෙනවා. කාලය කළමනාකරණය කරගැනීමේ කලාව මට හුරුයි.

අපි නොහඳුනන ඔබේ තවත් හැකියාවන් ඇති..?

මම සංගීතයට ගොඩක් ආසයි. මම විශ්වවිද්‍යාල කාලය වෙනකල්ම වයලීනය වාදනය කළා. පාසලේදිත් ඒ හැකියාව පෙන්වලා තියෙනවා. සංගීතය මට භාවනාවක් වගේ. ඒ වගේම මම ක්‍රීඩාවටත් කැමැතියි. ඉඩ ලැබෙන විදිහට ක්‍රීඩා කරනවා. ඒ වගේම ට්‍රැවල් කරන්නත් ආසයි.

ස්තූති කරන්නත් පිරිසක් ඇති..?

හිරු නාළිකාවට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් තුළ තිබුණ සෞඛ්‍ය රසඥතාවය වැදගත්. විරාජ් වැලිවත්තට, දමිත්ට සහ සුරේෂ්ට ස්තූති කරන්න කැමැතියි මේ වෙලාවේ.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ
ඡායාරූපය -
සසඳ ලියනාරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon