ඒ ලෙවල් ඇවිත්...

  👤  2862 readers have read this article !
Published by : MB WEB 2017-12-29 16:05:44

• හීන හොයන සමනල්ලුන්ගෙන් පස්සේ ඒ ලෙවල් ඇවිත්. එහි නිර්මාණ පසුබිම ගැන මුලින්ම කතා කරමු?

අපි හැමෝටම ආයෙත් පාසල් යනවා නම් යන්න හොඳම තැන තමයි ඒ ලෙවල්. අපි හැමෝගේම කැමැත්ත තියෙන්නේ ආයෙත් ඒ ලෙවල් පන්තියට යන්න. ඒ වගේම තමයි උසස් පෙළ තමයි අපි ජීවිතය හදා ගන්න තැන. තීරණ ගන්න පුළුවන් තත්ත්වයකට අපි එන්නේ ඒ ලෙවල් පන්තියේදී. ඒ ලෙවල් පන්තිය තමයි පූර්ව වැඩිහිටියෝ බිහි කරන්නේ. එතැනදී මට ඕන වුණා අහිංසලා, අනුත්තරලා සාමාන්‍ය අයට එහා ගිහින් දරා ගැනීමේ ශක්තියෙන් යුතුව තීරණ ගන්න විධිය පෙන්නන්න. අපි ආත්මාර්ථකාමී නොවන තීරණ ගන්න ඉගෙන ගන්න තැනත් ඒ ලෙවල්. අහිංසාට ඇතිවන ප්‍රශ්නයට මුහුණ දෙන්න ඇයට ශක්තිය එන්නේ ඒ ලෙවල් පන්තියේදී. ඒ මුහුණදීම සංයමයකින් කරන්නේ කොහොමද කියලා මම පෙන්වනවා. මේ හැමදේම නිසා තමයි මම ඒ ලෙවල් චිත්‍රපටය කරන්නේ.

• ලංකාවේ සමහර චිත්‍රපටවල අදාළ චරිතවලට ගැළපෙන ශිල්පීන් තෝරා ගැනීමේ ගැටලුවක් අපි දකිනවා. හැබැයි ආධුනික වුණත් ගැළපෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙක් ඒ ලෙවල් චිත්‍රපටයට එකතු වෙලා ඉන්නවා. චරිත තෝරා ගන්න රොහාන් ගොඩක් මහන්සි වෙන්න ඇති?

මේක මගේ දක්‍ෂතාව නෙමෙයි. ඇත්තටම මේක අපේ මහන්සිය. ළමයි නවදාහක් විතර අතරින් තමයි චිත්‍රපටයට අවශ්‍ය ළමයි ටික තෝරාගත්තේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල්වලින් තමයි මේ ළමයි තෝරගත්තේ. ප්‍රධාන චරිත සියල්ල තෝර ගත්තේ ලංකාවේ විවිධ තැන්වලින්. මට හිතුණා අහිංසයි අනුත්තරයි චිත්‍රපටයක රඟපාන්න කැමැත්තෙන් එන නාට්‍ය හා රංග කලාව කරපු දෙන්නෙක් වෙන්න බෑ කියලා. මට ඕන වුණේ එහෙම දෙන්නෙක් නෙමෙයි.

• ඇයි ඒ?

ලංකාවේ නාට්‍ය හා රංග කලාව කරන්නේ වෙන දෙයක් තෝරා ගන්න බැරිවෙන හින්දනේ. නාට්‍ය හා රංග කලාවට ඉතා දක්‍ෂ අය එන පිරිස ඉතා අඩුයි. මට පෞද්ගලිකව තියෙන අත්දැකීම අනුව මම එහෙම හිතනවා. නමුත් වෙන රටක නම් දක්‍ෂ දේ අනුව ඒ කෙනා ඒ අදාළ ක්‍ෂේත්‍රය තෝරගන්නේ. කලාවට හැකියාවක් තියෙනවා නම් ඒ ක්‍ෂේත්‍රය තෝර ගන්නවා. නමුත් ලංකාවේ එහෙම එකක් නෑ. මම හිතාගෙන හිටිය අනුත්තර ඔඩිෂන් එකට පෙළ ගැහිලා එන කොල්ලෙක් වෙන්න බෑ කියලා. සචිරව හම්බ වුණෙත් එහෙම. ඔඩිෂන් එකට ගියපු යාළුවෙක් එනකල් බලාගෙන ඉද්දී තමයි සචිරව හම්බ වුණේ. ඒ වගේ තමයි අපි ළමයි තේරුවේ. සමහර කොල්ලෝ ගෙනත් ස්ක්‍රීන් ටෙස්ට් කරද්දී අනෙක් පැත්තෙන් පැනලා ගිහිල්ලා අපි හරි පුද්ගලයා හරි චරිතවලට තෝරා ගත්තා. දමින්ද මඩවලගෙන් මට ලොකු සහයක් ලැබුණා. ඔහුගේ සහය නැත්නම් මම මේක නොකර ඉන්න තිබුණා. මේ ළමයි තෝර ගන්න මාත් එක්ක ඇවිද්දේ ඔහු.

• මේ තෝර ගත්ත චරිත සැබෑ ජීවිතයේදීත් ඒ වගේමද?

සැබෑ ජීවිතයේදීත් ඒ චරිතවල විදියට සමානයි බොහෝ අය. මම ගොඩනඟපු අනුත්තරගේ ගති ලක්‍ෂණ ගොඩක් සචිර ගාව තියෙනවා. අහිංසාගේ චරිත ලක්‍ෂණ ඒ දරුවා ගාව තියෙනවා. වත්සල වුණත් ෂූට් එකේදීත් මොනවා හරි කකා තමයි ඉන්නේ. වත්සලා බඩගිනි වෙලාවට පරණ පාන් කෑල්ලක් හම්බ වුණත් කනවා. සැබෑ චරිත මම තෝර ගත්ත චරිත තුළ ඉන්නවා. ෆිල්ම් එක කරන අතරතුරත් සමහරු පැණියෝ වගේ තමයි. බොහොම අමාරුවෙන් ඒ අය පාලනය කර ගත්තේ.

• ඒ ලෙවල් වයස් සීමාවේ ඉන්නේ දඩබ්බරයෝ. රොහාන්ට ඒ වගේ පිරිසක් පාලනය කරගන්න අපහසු වුණේ නැද්ද?

එයාලව පාලනය කරගන්න පහසුයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒක කර ගන්න පුළුවන්. මොන දඩබ්බරයාට වුණත් මේ වැඩේට එකඟ වෙන්න වෙනවා. අපි ළමයිව පාවිච්චි කළේ නැහැ. අපි ඔවුන්ට හොඳට ගෙවලා තමයි මෙයට සම්බන්ධ කරගත්තේ. නළු නිළියන් විදියට ඔවුන්ට අවශ්‍ය ගෞරවය අපි දුන්නා. ඒක ඔවුන්ට තේරුණ නිසා ඔවුන් වැඩේට කැප වුණා.
ඒක යුද්ධයක් වගේ වැඩක්. දවස් තිස් ගාණක් රූගත කිරීම් කළා. අටට හැමෝම ෂූට් එකට එන්න ඕන. අට පහුවෙලා එන අයට දඬුවම් තිබ්බා. සින්දු කියන්න, කතාවක් කරන්න වගේ දඬුවම් තිබ්බා. හොඳ ට්‍රේනින් එකක් ඒක. මම නිතරම චරිත ගොඩනඟන විදිය ගැන ඒ ළමයි එක්ක කතා කළා. සියුම් රංගනයක් ඔවුන්ගෙන් ලබා ගන්න ඒ කතාබහ කිරීම වැදගත් වුණා. මේක ලංකාවේ හැදෙන වෙන හැඩතලයක චිත්‍රපටයක් කියලා ඒ දරුවොත් තේරුම් ගත්තා.

• බලාපොරොත්තු වුණු විදියට ළමයින්ගෙන් දායකත්වය ලැබුණාද?

ඒ හැම ළමයෙක්ම මට ලොකු සහයක් දුන්නා. මම කාව හරි චරිතවලට තෝරාගත්තොත් මම බලාපොරොත්තු වුණ විදියට ඒ කෙනා කරන්න ඕන. නැත්නම් අයින් වෙන්න ඕන. ඇඳුම් සහ පසුතල පවා කලින් සැලසුම් කරලා තමයි අපි සකස් කර ගත්තේ. ලංකාවේ අපි බොහෝ වෙලාවට දකින්නේ නිළිය ඇඳන් එන ඇඳුමම ෂූට් එකට පාවිච්චි කරනවා. නමුත් අපි හැමදෙයක්ම සැලසුම් කරලා කරද්දී ඒ රඟපාන අයත් ඒකට අනුගත වෙන්න ඕන. රඟපාපු හැම ළමයම මොන චරිතය කළත් ඒක හරියට කරන්න උනන්දු වුණා. සමහර ෂොට් අපි පහළොස් වතාවක් විතර කළා.

• පළමුවැනි නිර්මාණය එළියට එද්දී රොහාන්ව බොහෝ අය දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ ලෙවල් චිත්‍රපටය එළියට එද්දී ඔබව අධ්‍යක්‍ෂවරයෙක් විධියට බොහෝ අය හඳුනනවා. ඒ නිසා නිර්මාණයට ජනප්‍රිය ශිල්පීන් සම්බන්ධ කර ගන්න ගැටලුවක් මතු වෙන්නේ නැතුව ඇති?

පළමුවැනි චිත්‍රපටයටත් ප්‍රධාන රංගන ශිල්පීන් සම්බන්ධ කරගනිද්දීත් මට ලොකු අපහසුවක් තිබ්බේ නැහැ. සෞම්‍ය ලියනගේ මුලින්ම මාත් එක්ක වැඩ කරන්න එකඟ වෙනවා. ඔහු සම්බන්ධ වෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්න අනෙක් ශිල්පීන් අකැමැති වෙන්නේ නැහැ. ඒ ලෙවල් චිත්‍රපටයේදී වුණත් මාත් එක්ක ප්‍රධාන රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් සම්බන්ධ වුණා. ඔවුන්ව මගේ වැඩේට සම්බන්ධ කර ගන්න අපහසු වුණේ නැහැ. ඔවුන්ගේ පෞරුෂයත් මේ කාර්යයේ සාර්ථකත්වයට හේතු වුණා. මගේ රූප රාමුවලට ඔවුන්ගේ පෞරුෂය බරක්.

• ඔබ ඉදිරිපත් කරන කතාව තුළ සංවේදී තැනක් ඉලක්ක කරගන්නවා. එහෙම කරන්නේ ප්‍රේක්‍ෂකයා අල්ලා ගන්න පහසුවටද? නැතිනම් ඔබේ ලිවීමේ ශෛලිය ඔබෙන් එය ඉල්ලා සිටිනවාද?

පොදුවේ සිනමා අධ්‍යක්‍ෂවරු භාවිත කරන ශෛලියම තමයි මම පාවිච්චි කරන්නේ. කතාව උපරිම තැනට ගෙනත් පුපුරුවා හැරීම හෝ නිෂ්ක්‍රිය කිරීම තමයි මගේ ශෛලිය. ගොඩක් චිත්‍රපටවල මම දකින්නෙත් ඒක. චිත්‍රපටය කියන්නේ රූපමය මාධ්‍යයෙන් කතාවක් කීම. මම කියන කතාවට මිනිස්සු කැමැතිද නැද්ද කියලා අන්තිමට විවේචනයක් දෙයි. මට පුළුවන් රූප මාධ්‍යයෙන් එය මිනිස්සු බලන් ඉන්න තැනට පත් කරන්න. අපේ රටේ චිත්‍රපටවලට හොඳද නරකද කියලා බනින්න කලින් අපිට ඒක බලන්න එපා වෙනවනේ. නමුත් එහෙම වෙන්න බෑ. අපි ඉදිරිපත් කරන රූපය හරිම ශක්තිමත් වෙන්න ඕන. මගේ චිත්‍රපටයේ කතාව හොඳ හෝ නරක කිව්වත් චිත්‍රපටය නොබලා මිනිස්සු නැඟිටලා යන්නේ නැහැ. මම ප්‍රේක්‍ෂකයාව රූපය එක්ක බද්ධ කරගෙන තිබෙනවා.

• ඒ කියන්නේ ඒ ලෙවල් චිත්‍රපටයට මේ වෙද්දීත් විවේචන තියෙනවාද?

හීන හොයන සමනල්ලු චිත්‍රපටයටත් විවේචන තිබ්බා. මේ චිත්‍රපටයටත් විවේචන තියෙනවා. මම ඒක බලාපොරොත්තු වෙනවා. අපි චිත්‍රපටය තුළ කතා කරන ප්‍රශ්නයට විවිධ අයට විවිධ උත්තර තියෙන්න පුළුවන්. මොන උත්තරය දුන්නත් මිනිස්සු චිත්‍රපටය නොබලා නැඟිටලා යන්නේ නැහැ. රූප මාධ්‍යයෙන් මම කතාව කියනවා. ඒකට එන විවේචනවලට මට එකඟ වෙන්න පුළුවන් තැන් තියේවි. බැරි තැන් තියේවි. මම රූප මාධ්‍යයෙන් ප්‍රේක්‍ෂකයා සිනමා කෘතිය තුළ තියා ගන්නා විදියට නිර්මාණය කරලා තියෙනවා.

• එන විවේචන භාර ගන්න රොහාන් කැමැතිද?

ඔව්. අනිවාර්යයෙන්ම විවේචන තියෙන්න ඕන. මේ චිත්‍රපටයට හැම කෙනෙක්ම කැමැති වෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. මම මේ චිත්‍රපටය හදන්නේ ඒ ලෙවල් පන්තිවල ඉන්න දඟකාර අයට සහ ඒ ලෙවල්වලින් පස්සේ තැන් තැන්වල විවිධ හැඩතලවල ඉන්න අයට නැවත ඒ පන්තිය බලලා එන්න පුළුවන් විදිහට. මම හිතනවා මම කළ දේ සාර්ථකයි කියලා. විවේචන තියෙයි. සිනමාව හැදෑරීම තුළ ඒ විවේචනත් මට වටිනවා. තව කවුරු හරි කියන දෙයකින් මගේ දැනුම අවබෝධය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා විවේචන හොඳයි.

• රූපගත කරලා අවුරුද්දක් වගේ ඇතුළත චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එය තිරගත කරන්න ලැබුණු පසුබිම ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඔව්. මම සෑහීමකට පත් වෙනවා. මගේ හීන හොයන සමනල්ලු චිත්‍රපටය තිරගත වෙද්දී අනෙක් පැත්තෙන් ධර්ම යුද්ධය චිත්‍රපටය ඉතා සාර්ථකව තිරගත වුණා. චිත්‍රපටයක් ගොඩක් මිනිස්සු බලන්න කැමැති නම් හෝල් හිමියන්ටත් ආදායම ලැබෙනවා නම් ඒ අදාළ චිත්‍රපටයට අදාළ අවස්ථාව දෙන්න ඕන. එහෙම සුදුසු අවස්ථා නොලැබුණා කියලා දුකක්වත් ලැබුණා කියලා ලොකු සන්තෝසයක්වත් නෑ. මගේ කාර්යය තමයි නිර්මාණය කිරීම. මම ඒක කරනවා. ප්‍රේක්‍ෂකයෝ ඒක කොයි තරම් දුරට භාර ගනීද කියන එක ගැන හිතුවොත් අපි වැටෙයි. ඉදිරියට යන්න නම් අපි හිතන්න ඕන ඒක නෙවෙයි. මගේ චිත්‍රපටය මණ්ඩලයකට තෝරා ගැනීමම වැදගත්. එතැනින් එහාට චිත්‍රපටය කොච්චර දිව්වද ඒක තව තිරගත වෙන්න තිබ්බා නේද මේ අවුරුද්දේ වැඩිම රෙකෝඩ් එක තියන්න තිබ්බා වගේ දේවල් හිතලා වැඩක් නැහැ.

• එහෙම ඉලක්කයක් නැද්ද?

මට එහෙම ඉලක්කයක් නැහැ. ඒ ලෙවල් චිත්‍රපටයට ඉලක්ක ගත ප්‍රේක්‍ෂක පිරිස අඩුයි. ලක්‍ෂ තිහක් හතළිහක් තමයි ඒ ලෙවල් චිත්‍රපටයේ ඉලක්කගත ප්‍රේක්‍ෂකයෝ වෙලා ඉන්නේ.

• ඩොක්ටර් නවරියන් චිත්‍රපටය නිසා ඒ ලෙවල් චිත්‍රපටයට ලැබුණේ සීමිත හෝල් සංඛ්‍යාවක් කියන්නේ ඇත්තද?

මම ඒ ගැන ඇත්තටම දැනුවත් නෑ. හැබැයි අපේ රට පුංචි රටක්. පෞද්ගලිකව මට යම් චිත්‍රපටයක් බලන්න ඕන නම් මම ඒකට යනවා. එක චිත්‍රපටයක් නිසා තව චිත්‍රපටයක් අසාර්ථක වෙනවා කියලා මම හිතන්නේ නැහැ. යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. ඩොක්ටර් නවරියන් චිත්‍රපටය බලන්න ඕන අය ඒක බලයි. ඒ ලෙවල් බලන්න ඕන අය ඒක බලයි. හො¼ද චිත්‍රපට හැදෙන්න ඕන සිනමාවට ප්‍රේක්‍ෂකයන් ගෙන්න ගන්න. අපි සිනමාවට ආදරේ නිසා මෙහෙම වැඩ කරන්නේ. සෝමරත්න දිසානායක වගේ අධ්‍යක්‍ෂවරු තව පස් දෙනෙක් හිටියා නම් ඒ චිත්‍රපට බලන්න ප්‍රේක්‍ෂකයෝ එයි. බලන චිත්‍රපට හැදුවොත් ප්‍රේක්‍ෂකයෝ ඒක බලනවා. සුන්දර නිර්මාණ හැදුවොත් ප්‍රේක්‍ෂකයෝ සිනමා නිර්මාණ බලන්න එයි. තරග කරන්න ඕන හො¼ද නිර්මාණ කරන්න විතරයි.

• ඊළඟ චිත්‍රපටයත් ළඟදීම තිරයට එයිද?

මගේ ඊළඟ චිත්‍රපටය "ගෝල්". ඒකේ හඬ කැවීම් නිම කළා. බෙනට් රත්නායක මහත්තයා මේ ළඟදී මට කිව්වා "මේ ඉන්නේ ඉස්කෝලේ කතාවල එක්ස්පර්ට්" කියලා. ඉතිං මේකත් ළමා චිත්‍රපටයක්. ළමයි අසූවක් මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. ෆුට් බෝල් ගහන ළමයි හය හත්දාහක් අතරින් තමයි ඒ දරුවන් තෝර ගත්තෙත්. එය දැවැන්ත වැඩක්. සුසාර දිනාල් නොහිටින්න එය හැදෙන්නේ නැහැ. සුසාරගේ ඉල්ලීම නිසා මහන්සිය නොබලා "ගෝල්" චිත්‍රපටය කළා. ඒකත් මේ වසරේ තිරගත වෙයි.

• දැන් ඔබ වැනි අලුත් නිර්මාණකරුවන්ට නිර්මාණකරණයට සුදුසු පසුබිමක් ලංකාව තුළ තියෙනවද?

හොඳ නිර්මාණ කරනවා නම් ඒවා ප්‍රේක්‍ෂකයෝ අතරට ගෙනියන්න හොඳ ඉඩකඩක් තියෙනවා. මහා රාජා වගේ ආයතන නිෂ්පාදන කාර්යයට උරදීලා තියෙන නිසා අලුත් අධ්‍යක්‍ෂවරුන්ට නිර්මාණකරුවන්ට සිනමාවට එන්න ඉඩකඩක් තියෙනවා.

දමිත මඩවලට මේ වෙලාවේ ස්තූති කරනවා. ඔහු සහ මම දුෂ්කර ව්‍යායාමයක් කළේ. චිත්‍රපටයට දරුවෝ ටික හොයා ගත්ත එකම දුෂ්කර වැඩක්. මේ නිර්මාණය ටීම් වර්ක් එකක්. පාලිත පෙරේරා මගේ රූපය කැමරාවට පෙරළන්න අති දක්‍ෂයෙක්. ඔහුගෙනුත් හොඳ සහයක් ලැබුණා. අජිත් රාමනායක තමයි සංස්කරණ ශිල්පියා. මේ චිත්‍රපටයේ රඟපාපු පොඩ්ඩෝ දෙන්නගේ ඉඳන් හැම ශිල්පියෙක්ම මේ කාර්යය සාර්ථක කරගන්න උදවු කළා. ඒ හැමෝටම ස්තූති කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon