කඩුවද...? ෆොටෝ එකද...?

  👤  1350 readers have read this article !
Published by : MB WEB 2018-01-07 14:35:36

පළාත් පාලන මැතිවරණය ක්‍රම ක්‍රමයෙන් ළඟා වෙනවාත් සමඟම දේශපාලන ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වීමට පටන්ගෙන තිබෙන අතර එම උණුසුම තවත් වැඩිවී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට භාරදීමත් සමඟය.
මෙම වාර්තාව නීතිපතිට යොමුකරමින් ජනාධිපතිවරයා රට හමුවේ විනාඩි 23ක කාලයක් පුරා සිදුකරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන්ද දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වනවිට කතාබහක් සිදුවෙමින් පවතී.

මේ සමඟම රටේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුගේ සංකේත දෙකක් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේත්, රටේ පොදු මහජනතාවගේත් දේශපාලන විචාරකයන්ගේත් අවධානය යොමුවී තිබේ.

එක් සංකේතයක් වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කඩුවයි. අනෙක් සංකේතය වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ෆොටෝ එකයි.
මෛත්‍රිගේ කඩුවද: මහින්දගේ ෆොටෝ එකද? යන කාරණය හා ඉදිරි පළාත් පාලන මැතිවරණය අතර කුමන සම්බන්ධයක් පවතීද?
"මගේ කඩුවට කවුරු කැපෙයිද දන්නේ නැහැ." යනුවෙන් මෛත්‍රි ප්‍රකාශ කළේ තමා අත තියෙන්නේ බලවත් කඩුවක් බව කියාපාමිනි.
"මගේ ෆොටෝ එකම තමයි හැමෝටම ඕන වෙලා තියෙන්නේ. ඡන්ද ළං වෙනකොට මගේ ෆොටෝ එක නැතුව ඡන්ද ගන්න බැරිවෙලා තියෙනවා" මෙසේ ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂය.
ජනපති මෛත්‍රි කඩු කතාව කියන්නට පෙර ඊට සමාන තවත් කතා දෙක තුනක්ම ප්‍රකාශ කළේය.
"කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපා." යනුවෙන් යම් අනතුරු ඇඟවීමක් මෛත්‍රි කළේ කඩු කතාවට පෙරය.
මෛත්‍රි කඩු කතාව ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනකම ප්‍රකාශ කළේ ඉදිරියේදී මෛත්‍රි දේශපාලන පෙරැළි රැසක් සිදුකිරීමට සූදානමින් සිටින බවක්ය.

එසේ කියන දේශපාලන පෙරළියේ උච්චතම අවස්ථාව බැඳුම්කරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවයි.
මෙම වාර්තාව ලැබීමත් සමඟම මෛත්‍රි රනිල්ව අනිවාර්යයෙන්ම කොටු කරාවි යනුවෙන් ප්‍රබල මතයක් රට පුරා පැවැති අතර එය ගොඩනැඟීමට ප්‍රබලව දායක වූයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ය.

අග්‍රාමාත්‍ය ධුරය වෙනස්කර එක්සත් ජාතික පක්ෂයේ වෙනත් කෙනකුට හෝ ඒකාබද්ධ විපක්ෂයේ කෙනකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදී නව ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රිගේ අවධානය යොමුවී තිබෙන බවට ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරු යම් යම් ඉඟි පළ කරන්නට වූහ.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ මෙම ප්‍රකාශ ගැන යම් කලබලයකට පත්වී තිබුණු බවක් පෙනිණි.
ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, ඉසුර දේවප්‍රිය නිතරම කරනු ලබන ප්‍රකාශවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ විශාල ආශ්වාදයක් ලබන්නට වූහ.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ කාටවත් සිතා ගැනීමටවත් නොහැකි පෙරැළි ජනාධිපතිතුමා විසින් සිදුකරනු ඇත කියාය.
මේ කතාවලට බිය වූ එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි ඇතුළු පිරිස් ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව පෙබරවාරි 11 වැනිදා තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩනඟන බවයි.
එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නයි මේ බැඳුම්කර ජනාධිපති කොමිසම පත්කරලා තියෙන්නේ." යනුවෙන්ද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුද යම් යම් ස්ථානවල ප්‍රකාශ කරන්නට වූහ.
නමුත් බැඳුම්කර වාර්තාව ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව කෑගැසූ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන්ගේ කෑගැසීම් නැවතී ඇති අතර ඇතැමකුගේ කෑගැසීම් අඩුවී තිබේ.

"ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සර්වපාක්ෂික ජනාධිපති කෙනකු විය යුතුමයි. ඒ ගැන අග්‍රාමාත්‍යතුමාටත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමටත් යෝජනා කරනවා" යනුවෙන් කෑ මොරදුන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු මේ වනවිට යම් නිහඬතාවක් අනුගමනය කරති.
මෙම වාර්තාවෙන් කිසිවකු වරදකරුවන් කර නොමැති බවත් සිදුකර තිබෙන්නේ සාක්ෂි එක්රැස් කිරීම පමණක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර තිබිණි.
මෙම වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කිසිම අවස්ථාවක වරදකරුවකු කර නොමැති බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පෙන්වා දෙයි.

බැඳුම්කරයට නිසි පියවර ගැනීමෙන් යහපාලනය යළි තහවුරු වූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ අතරතුරය.
මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ප්‍රකාශ කරන්නේ මෙම බැඳුම්කර ගනුදෙනුව සිදුවන විට ශ්‍රී ලංකා මහ බැංකුව තිබුණේ තමාගේ යටතේ නොවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව තිබුණේ කාගේ යටතේදැයි කවුරුත් දන්නා දෙයක් බවද ඔහු ප්‍රකාශ කරයි. රවි කරුණානායක මේ නොකියා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ කියාය.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව මීට පෙර ප්‍රබල කතා ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන්ද එතරම් ප්‍රබල ප්‍රකාශ සිදුවන බවක් දක්නට නොලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරනු ලබන්නේ මේ මැටි ආණ්ඩුවේ ඔවුන් ඉන්නේ කැමැත්තකින් නොවන බවයි.
බැඳුම්කර වාර්තාව නිකුත්වීමත් සමඟම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආයතන කිහිපයක් සහ අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපතිවරයා විසින් පවරා ගන්නා බවට විශාල අනාවැකි ප්‍රකාශ කළ බන්දුල ගුණවර්ධන දැන් ප්‍රකාශ කරන්නේ එය කන්දක් විලිලා වැදූ මී පැටියෙක් වගෙයි කියාය.
මෙම බැඳුම්කර සිද්ධියට අග්‍රාමාත්‍යවරයා සෘජු ලෙස වගකිව යුතු බව ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රකාශ කරන්නේ හිටපු මහ බැංකු අධිපති බේරාගැනීමට අගමැති කටයුතු කළා. අගමැති බේරාගැනීමට ජනාධිපති කටයුතු කළා" කියාය.

එසේනම් දැන් මෙම බැඳුම්කර වංචාවට වගකිවයුත්තේ කවුද..? අගමැති නිර්දෝෂි නම් අර්ජුන මහේන්ද්‍රන් විදේශ ගතවෙලා නම්, රවිට තිබෙන්නේ වෙනත් චෝදනා නම් දැන් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුද..?
මෛත්‍රිගේ කඩුවට කැපෙන්නේ කවුද..? කියා මුළු රටම බලා සිටී.
බැඳුම්කර වාර්තාව වැඩ කළොත් එහි වාසිය මෛත්‍රිටත්, මහින්දටත් හිමිවන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය විය. බැඳුම්කර වාර්තාව වැඩ නොකොළොත් එහි වාසිය රනිල්ටත්, මහින්දටත් හිමිවන බවද ඔවුන්ගේ අදහස විය.

මේ අතර දේශපාලනඥයකුට තමාගේ ෆොටෝ එකට හිමිවන උපරිම අගය මේ වනවිට හිමිකරගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂය. ඔහුගේ ඡායාරූපය යොදාගෙන ගමට යෑමට පොහොට්ටුවේ පමණක් නොව බුලත් කොළයේ අයද කැමැතිය.

මේ වනතුරු පොදු මහජනතාව අතර තමන්ට තිබෙන ජනප්‍රසාදය නිසා තමන්ගේ ෆොටෝ එකට හැමෝම පොරකන බව මහින්ද කියයි. වඩා බලවත් මෛත්‍රිගේ කඩුවද..? මහින්දගේ ෆොටෝ එකද..? පෙබරවාරි 11 වැනිදා උදෑසන වනවිට ඊට පිළිතුරු ලැබෙනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon