වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන ‘සී’ කොටසේ එක්දින තරගාවලිය හෙට ඇරඹේ

  👤  1530 readers have read this article !
Published by : MB WEB 2018-01-12 13:40:43

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය අට වැනි වරට ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන 2018 'බී.එම්.ඩබ්ලිව්. - හයිඋන්ඩායි' කුසලාන 'සී' කොටසේ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ නිල අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි. ඒ අනුව හෙට (13දා) ආරම්භ කරන මෙම තරගාවලියේ ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ කාණ්ඩයේ තරග පෙබරවාරි 28 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹදී පසුගියදා පැවැති නිල අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කිරීමේ මාධ්‍ය හමුවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වෙනුවෙන් එහි සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ, ලේකම් නලින් වික්‍රමසිංහ, අනුග්‍රාහකත්ව කමිටු සභාපති රෝහණ දිසානායක සහ තරග ලේකම් තරින්ද කලුපෙරුම යන මහත්වරුන්ද හයිඋන්ඩායි ලංකා සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජූලියන් රවුටර්, ව්‍යාපාර ක්‍රමෝපාය අධ්‍යක්ෂ නිරංග පීරිස් සහ සුජිත් පීරිස් යන මහත්වරුන් සහභාගි විය.

කෙසේ වෙතත් 2018 'බී.එම්.ඩබ්ලිව්. - හයිඋන්ඩායි' කුසලාන 'සී' කොටසේ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සදහා නවක කණ්ඩායම් 8ක් ඇතුළුව කණ්ඩායම් 14ක් තරග වදින අතර එම කණ්ඩායම් 'ඒ' සහ 'බී' කාණ්ඩ ලෙසින් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. ඒ අනුව සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් කණ්ඩායම, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කණ්ඩායම, ස්ටැෆර්ඩ් මෝටර්ස් කණ්ඩායම, කෙන්රිච් ෆිනෑන්ස් 'බී' කණ්ඩායම, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කණ්ඩායම, කලම්බෝ ඩොක්යාඩ් සහ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකු යන කණ්ඩායම් 'ඒ' කාණ්ඩයෙන් ද කොමර්ෂල් බැංකු කණ්ඩායම, ජේ.එල්. මොරිසන් සන්ස් කණ්ඩායම, හේෂාන් ෆ්ලෙක්සි පැකේජින් කණ්ඩායම, පිරමීඩ් විල්මර් කණ්ඩායම, නේෂන්ස් ට්‍රස්ට් බැංකු 'ඒ' කණ්ඩායම, සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් කණ්ඩායම සහ ෆෑන් ඒෂියා බැංකු කණ්ඩායම යන කණ්ඩායම් 'බී' කාණ්ඩයෙන් ද මෙවර තරගාවලිය සඳහා සහභාගි වේ. තවද මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග එළැඹෙන මාර්තු 3 වැනිදාත් අවසන් පූර්ව තරග මාර්තු 10 වැනිදාත් පැවැත්වීමට නියමිත අතර වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී මාර්තු 17 වැනිදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

මේ අතර තරගාවලියේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ අවසන් තරගයේ වීරයා ලෙසින්ද 'බී.එම්.ඩබ්ලිව්. - හයිඋන්ඩායි' කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සම්මාන පිරිනැමේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon