ගයාන් මේ පාර ළං වුණේ කාටද?

  👤  2272 readers have read this article !
Published by : MB WEB 2018-01-22 15:10:12

'ප්ලස් මයිනස්' බෑන්ඩ් එක ආයෙත් පටන් අරගෙන නේද?

ඔව්. ධනපාල උඩවත්ත මහත්තයගෙ පුතා, ගයාන් උඩවත්ත තමයි මේක පටන් ගත්තෙ. ඒත් එයා ඒක කාලෙකදි නවත්වනවා. ඊට පස්සෙ අපි දෙන්නා එකතු වෙලා ගිය අවුරුද්දෙ ආයෙත් ඒක පටන් ගත්තා. දැන් අපි ඔක්කොම හය දෙනෙක් බෑන්ඩ් එකේ ඉන්නවා. නිමේෂ්, මදුක,
හිමේෂ්, සංගීත්, ගයාන් සහ මම. දැන් අපිට ස්ටූඩියෝ තුනක් තියෙනවා.

ගයාන්ලා දෙන්නටම තාත්තලාගෙන් ලොකු සහයෝගයක් දෙනවා ඇති?

අපේ තාත්තලා දෙන්නගෙන්ම සෑහෙන්න ලොකු උදව්වක් ලැබෙනවා. අපි දෙන්නා වගේම එයාලා දෙන්නත් හුඟක් පරණ යාළුවො දෙන්නෙක්. හැම දෙයක්ම කොහොමද පාලනය කරන්නෙ කියලා එයාලා අපිට කියලා දෙනවා. ඒ දෙන්නා ඉන්න එක අපිට හුඟක් පහසුයි.

ගායනයට අමතරව ඔබව රංගන භූමිකාවෙනුත් මේ දවස්වල අපිට මුණගැහෙනවා?

ඔව්. මම මේ දවස්වල හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය කරනවා. ධනවත් පවුලක, බොහොම අහිංසක ඒ වගේම හිතුවක්කාර චරිතයක් මම නිරූපණය කරන්නේ. එයාට ගැහැනු
ළමයකුගේ ආදරය කලින් ලැබිලා නැහැ. ඊට පස්සේ එයාට වැඩිමහල් ගැහැනු ළමයෙක්ට ආදරයක් ඇති වෙනවා.

සැබෑ ජීවිතයෙත් ගයාන් හිතුවක්කාරයෙක්ද?

ඔව්. මම තාමත් හිතුවක්කාරයි. චරිතයට වඩා මම හුඟක් හිතුවක්කාරයි.

ගයාන්ට අනෙක් රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම හොඳයි. බුද්ධදාස විතානආරච්චි මහත්තයා සහ ශ්‍රියානි අමරසේන මහත්මිය තමයි මගේ අම්මාගෙ සහ තාත්තාගෙ චරිතය රඟදක්වන්නෙ. ඒ දෙන්නා මම හිතුවෙවත් නැති විදියට මගේම අම්මයි තාත්තයි වගේ මට හුඟක් උදවු කළා. ඒ වගේම හැම කෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.

ගයාන්ට තවත් රංගන අවස්ථා ලැබුණද?

ඔව්. මට අලුත් නාට්‍යයකටත් ඒ වගේම අලුත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. හිතුවක්කාරයා නාට්‍ය ඉවර වෙනවත් එක්කම තව නාට්‍යයකට සම්බන්ධ වෙන්න ඉන්නෙ.

ගයාන්ට නළුවෙක් වෙන්න හිතුණේ පෙනුම නිසාද?

නැහැ. එහෙම නැහැ. මම ඊඍ 1 එකේ නිවේදන කටයුතු කරන වෙලාවක ඒකේ බුද්ධික මහත්තයා මට කතා කළා හිතුවක්කාරයා නාට්‍යයේ ප්‍රධාන චරිතයට. මම පුළුවන් වෙයිද දන්නෙ නෑ කියලා තමයි චරිතය භාර ගත්තෙත්.

රංගන ශිල්පියෙක් විදියටද නිවේදකයෙක් විදියටද ගායකයෙක් විදියටද ගයාන්ට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ?

හැම පැත්තෙන්ම හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හොඳ නරක දෙකම ආදරෙන් මට කියලා දෙනවා ඒ අය. මට ඒ ප්‍රතිචාර වටිනවා.

ප්‍රතිචාර හොඳයි කියන්නෙ ඔයා සාර්ථකයි කියන එකද?

මම සාර්ථකයි කියන්නේ නෑ. මට හදාගන්න ගොඩාක් දේවල් තියෙනවා.

දැන් මොන පැත්තෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තුව?

මම වැඩියෙන්ම කැමැති ගායකයෙක් විදියට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න. ඒත් අනෙක් කටයුතුවලත් ඉන්නවා. හැම පැත්තෙන්ම ඉදිරියට යනවා.

ගයාන් දැන් තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනඟාගෙනද ඉන්නෙ?

මම හිතනවා මේ වෙනකොට නුවන් ගුණවර්ධනගේ පුතා විදියට වගේම ගයාන් ගුණවර්ධන විදියටත් මාව පිරිසක් හඳුනනවා කියලා. ගයියා කියලා මාව හදුනන පිරිස වැඩියි.

ගයාන් ආයෙත් පෙම්වතෙක් වෙලා කියන්නෙ ඇත්තද?

මම අන්තිමටම පෙම්වතෙක් වෙලා හිටියෙ ගිය අවුරුද්දෙ. මම ආදරය කළා. ඒක බොහොම සොඳුරුයි. එයා එක්කවත් එයාගෙ පවුලෙ අය එක්කවත් මට කිසිම තරහක් නැහැ. මම තාමත් එයාලට ආදරෙයි, කිසිම වෛරයක් නැහැ.

මොනවද අලුත් වැඩ?

අපි සින්දු තිස් තුනක් භාෂා පහකින් විනාඩි හතරක් ඇතුළත ගායනා කළා. අලුත්ම ගීතයකුත් බෑන්ඩ් එකේ හයදෙනාම එකතුවෙලා ගායනා කරනවා. වෙනස්ම ආකාරයේ කොන්සට් කීපයක් කරන්න හිතාගෙනත් ඉන්නවා. ඊට අමතරව තාත්තයි මායි එකතු වෙලා පිය - පුතු ප්‍රසංගයක් කරන්න හිතන් ඉන්නවා. ඒකෙදි තාත්තා මගෙ ගීතත් මං තාත්තගෙ ගීතත් කියන්න හිතන් ඉන්නෙ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon