අමාරුවේ වැටිලා ඉන්න වෙලාවෙ පන්දු යවන්නන්ගේ පිහිට ලැබුණා

  👤  2052 readers have read this article !
Published by : MB WEB 2018-01-23 11:17:11

බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පළමු තරග දෙකම පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ සමඟින් පෙරේදා පැවැති තරගයට මුහුණ දිය යුතුව තිබුණේ මියෙම්වා හෝ රැකෙම්වා යන අරුත පෙරදැරි කරගෙනය.

කෙසේ වෙතත් එම තරගය කඩුලු 5කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් මෙම තරගාවලියේ රැඳී සිටීමට වරම් දිනාගත් අතර, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත්තේ මෙම ජයග්‍රහණයේ සියලු ගෞරව පන්දු යවන්නන්ට හිමිවිය යුතු බවය.

"අපිට තිබුණේ තරග හතරක් පමණයි. ඒකෙනුත් තරග දෙකක් පැරදිලයි අපි මේ තරගයට මුහුණ දුන්නේ. තරග හතරෙන් තරග දෙකක් පරාජය වෙලා ඉන්න ඕනෑම කණ්ඩායමක් ඊළඟ තරගය ක්‍රීඩා කරන්නේ දැඩි අපහසුවකින්. මේ තරගාවලියේදී තරග දෙකක් ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටින්නට අවස්ථාවක් තියෙනවා. ඒත් අපි මේ තරගයට පෙර තරග දෙකම පරාජය වෙලා හිටි නිසා මේ තරගය අනිවාර්යයෙන්ම ජයගැනීමට ඕන වුණා" යැයි පැවැසූ චන්දිමාල් තණතීරුව සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"ඒක ක්‍රීඩා කිරීමට අසීරු තණතීරුවක්. එම තණතීරුවේදී පිතිකරුවාට පන්දුව පැමිණෙන ආකාරය තේරුම් ගන්න බැහැ. කොහොම වුණත් පන්දුවාර 25ට පෙර තරගය ජයගනිමින් බෝනස් ලකුණත් හිමිකර ගැනීමට මුලදී අපි අදහස් කරගෙන හිටියත් තණතීරුවේ ඇති අසීරු බව නිසා පන්දුවාර 25න් පස්සේ ඒ අදහස අත්හැර ගෙන තරගය කෙසේ හෝ ජය ගැනීමට හිතාගත්තා" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයා පැවැසීය.

මේ අතර ලකුණු 145කට කඩුළු 5ක් දැවී ගොස් තිබියදී ශ්‍රී ලංකා නායකයා සමඟ හයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 57ක සබඳතාවක් පවත්වමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූ තිසර පෙරේරා සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නායකයා දැරුවේ මෙවන් අදහසකි.

"අපිට අපේ ප්‍රධානතම ජේ‍යෂ්ඨ පිතිකරුවා (ඇන්ජිලෝ මැතිව්ස්) අහිමි වෙලා ඉන්න වෙලාවක පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් තිසරගෙන් සිද්ධ වෙන කර්තව්‍ය ඉතාමත් වටිනවා. එයා අපිට ඉන්න පළපුරුදුම ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක් ඉන්න එක අපේ වාසනාවක්" යැයි පැවැසූ චන්දිමාල් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය පිළිබඳව ප්‍රශංසා කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon