හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව මාර්තු 27දා විභාගයට

  👤  1695 readers have read this article !
Published by : MB WEB 2018-01-23 15:16:50

2009 වසරේ කඩුවෙල, නවගමුව ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය මාර්තු මස 27දා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.

මේ නඩුව ඊයේ (22දා) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන දිනේෂ් පුෂ්පකුමාර මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනකු අධිකරණයේ පෙනී සිටියහ.

මෙහිදී විත්තිකාර හෙක්ටර් බෙත්මගේ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම ජේ‍යෂ්ඨ නීතිඥවරයා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන්ය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව මාර්තු මස 27දා විභාගයට තැබීමට නියම කළ අතර එදින සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුවන්ට අවවාද කළේය.

2009 වසරේ අප්‍රේල් මස 11දා කඩුවෙල, නවගමුව ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු ලෙස කටයුතු කරමින් දිනේෂ් පුෂ්පකුමාර නමැත්තකුට වෙඩි තබා තුවාල සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හෙක්ටර් බෙත්මගේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon