දුවයි පුතයි එක්ක එඩ්වඩ් මෙදා සැරේ කරන්න යන දේ

  👤  2498 readers have read this article !
Published by : MB WEB 2018-01-24 16:34:35

'මාරම්බරී' සුවිශේෂී කඩඉමක් අත ළඟ නේද?

මාරම්බරී ප්‍රසංගයේ සියවැනි වාරය ජනවාරි 28 වැනි ඉරිදා හවස 6.30ට කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. සියයක් දුර ඒම ලොකු කඩඉමක් වෙනවා. මාරම්බරී ප්‍රසංගය පටන් ගත්තේ 2010 ජනවාරියේ. මේ වෙනකොට එංගලන්තයේ, ප්‍රංශයේ, ස්විට්සර්ලන්තයේ, ඉතාලියේ, ඕස්ට්‍රේලියාවේ, ඇමෙරිකාවේ, කැනඩාවේ ඇතුළු මැද පෙරදිග රටවල් කිහිපයකත් මේ ප්‍රසංගය පවත්වලා තියෙනවා. ලංකාවේ නගර ගම් කිහිපයකත් මේ ප්‍රසංගය පවත්වලා තියෙනවා.

ඔබ ඒකපුද්ගල ප්‍රසංගයක් පටන් ගන්නේ ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආවට පස්සේ.?

ඔව්. ඒකපුද්ගල ප්‍රසංගයක් මම පටන් ගත්තේ මගේ කලා ජීවිතයේ අවුරුදු තිස්පහකට විතර පස්සේ. ඒකපුද්ගල ප්‍රසංගයක් කියන්නේ ගායකයකුගේ හෝ ගායිකාවකගේ කූඨප්‍රාප්තියේ එක් අවස්ථාවක්. ප්‍රේක්ෂකයන්ට ඒකපුද්ගල ප්‍රසංගයක් තිළිණ කරන්න තමන් ළඟ හොඳ අස්වැන්නක් තිබිය යුතුයි. මම පාසල් යන කාලේ අමරදේව, නන්දා මාලනී ශ්‍රවණාරාධනා ප්‍රසංගය බලලා තියෙනවා. වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය වගේ ප්‍රසංග අපි නරඹලා තියෙනවා. ඒවා බලලා උන්මාද වෙලා හිටියේ.

ඔබ ජේ‍යෂ්ඨ ශිල්පීන්ගේ ප්‍රසංගවල අත්වැල් ගායකයෙක් ලෙසත් එකතු වෙනවා. එය ඔබේ ඒකපුද්ගල ප්‍රසංගයක් පටන් ගන්නත් බලපාන්න ඇති.?

ඔව්. අමරදේව සර්ගෙ ශ්‍රවණ රමණී ඒකපුද්ගල ප්‍රසංගයේ අත්වැල් ගායකයෙක් ලෙස රට වටේ යන්න ලැබුණා. වික්ටර් රත්නායක මහත්මයාගේ 'ස' ප්‍රසංගයේ අත්වැල් ගායකයෙක් ලෙස යන්න ලැබුණා. ඒ දේවල්වලින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒකපුද්ගල ප්‍රසංගයක හරි වගකීමක්, බරක් තියෙනවා, මේ බර දරාගෙන කොහොමද මෙය කරන්නේ කියලා. හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න ඕන. ඒකපුද්ගල ප්‍රසංගවල සම්ප්‍රදායත් රැකගෙන අපිට පුළුවන් නවතාවන් එකතු කරගෙන ඉදිරියට යනවා.

ඒකපුද්ගල ප්‍රසංග කලාව ඇතුළේ යම් වෙනසක් ඔබට කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?

මාරම්බරී ප්‍රසංගය එක්ක මමයි චරිතයි ඒකපුද්ගල ප්‍රසංග රටාවට ඉදිරිපත් කළ අලුත්ම අත්දැකීම තමයි දරුවන් වෙනුවෙන් කලාපයක් වෙන් කළ එක. මගේ ඒකපුද්ගල ප්‍රසංගයේ තිබෙනවා දේශීය නාද රටා ඇතුළත් ගීත. උත්තර භාරතීය රාගධාරි නාද රටා බටහිර සංගීතය උපයෝගී කරගත් නාද රටා. මගේ ගීතවල විවිධත්වයක් තියෙනවා. ආදර ගීත, දේශාභිමානී ගීත, සමාජීය ආකල්ප වර්ධනය පිළිබද ගීත තියෙනවා. ළමා ගීත තියෙනවා. සමූහ ගීත, යුග ගීත තිබෙනවා. මේ වගේ විවිධත්වයක් අවශ්‍යයි. ජේ‍යෂ්ඨ ශිල්පීන්ගේ ප්‍රසංගවල ඒ විවිධත්වය අපි අත්වින්දා. මේ විවිධත්වය තව තවත් වර්ධනය කරලා ඉදිරිපත් කරන්න තමයි අපි මහන්සි ගන්නේ.

ප්‍රසංග කලාව ඇතුළේ එක් එක් පුද්ගලයන්ට එක් එක් අරමුණු තිබෙන්න පුළුවන්. 'මාරම්බරී' ප්‍රසංගය පවත්වද්දිත් ඔබට එවැනි අරමුණක් තියෙන්න ඇති

මම ජේ‍යෂ්ඨ ශිල්පීන්ගේ ප්‍රසංගවලට සම්බන්ධ වුණ නිසා මටත් සිහිනයක් ගොඩනැඟුණා ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා. මම ක්ෂේත්‍රයට එන්නේ 70 දශකයේ අග භාගයේ. ඒ යුගයේ මගේ ගීතයක් දෙකක් ජනප්‍රිය වුණාමත් ඒකපුද්ගල ප්‍රසංගයක් පවත්වන්න ආරාධනා ආවා. ඒ වගේ ආරාධනා ආවට මගේ මල්ල තාම පිරිලා මදි නේද කියලා මට හිතුණේ. මගේ තිබ්බ සිහිනය සැබෑ කරගන්නේ ගායන ක්ෂේත්‍රයට ඇවිත් වසර තිස්පහක් ගත වුණාට පස්සේ. චරිතාගේ මහන්සියත් ඒ තුළ තිබෙනවා. මම දකින සිහිනය සුභාවිත ගී රසිකයන්ට සත්‍ය ලෙස පෙන්වන්නයි මට ඕන වුණේ. සුභාවිත ගීතයට එන බලපෑම, රැලි, අඩන්තේට්ටම්වලින් මෙය මුදා ගැනීමේ අපේක්ෂාවකුත් මේ තුළ තිබෙනවා.

මෙවැනි ප්‍රසංගයකින් මූල්‍යමය අරමුණු සාක්ෂාත් කර ගන්න බැරිද?

මේ වගේ ප්‍රසංගවලින් අද රටේ ලොකු මූල්‍ය වාසියක් ලබා ගන්න බැහැ. මේක බොහෝ දේවල්වල එකතුවක්. ඒකපුද්ගල ප්‍රසංගයක් කරනවට වඩා එක රැයකින් මූල්‍ය ශක්තිය වැඩිකරගත හැකි වැඩ තියෙනවා. නමුත් ඒවට නොයා මේ වගේ හිමින් ගමනක් යන එක හොඳයි. මේ වගේ දෙයකත් මූල්‍ය අරමුණු තියෙන්න පුළුවන්. මොකද විශාල කණ්ඩායමක් එක්ක මේ කාර්යය කරගෙන යද්දි වියදම් දරන්න වෙනවා. අද රටේ හැටියට නොමිලේ මේ වගේ ප්‍රසංගයක් කරන්න අමාරුයි. නමුත් එන ප්‍රේක්ෂකයන්ට දරාගන්න පුළුවන් සාධාරණත්වයකින් තමයි අපි මෙය පවත්වන්නේ.

'මාරම්බරී' රසිකයන් වැලඳගෙන තිබෙන ප්‍රමාණය ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්ද?

මගේ සමහර ප්‍රසංගවලදී ප්‍රසංගය ඉවර වුණත් රසික රසිකාවියෝ නැඟිටින්නේ නෑ. අපේ රටේ සමහර ප්‍රසංග පෙන්වන ශාලාවන් ගත්තම සියයට අනූවකම අවශ්‍ය පහසුකම් නැහැ. සමහර විට දහදිය හලාගෙන මේ ප්‍රසංග නරඹන්නේ. ඒත් ඒ අය සජීව අත්දැකීම් විඳින්න කැමැතියි.

මෙවැනි ඒකපුද්ගල ප්‍රසංගයක් සියවැනි කඩඉම දක්වා ගෙනෙද්දි ගැටලු මතුවෙලාම නැද්ද?

සමහර ප්‍රසංගවලට ගිහින් අපිට සල්ලි නැතුව හිස් අතින් එන්න වෙලා තියෙනවා. පුත්තලමේ තිබ්බ ප්‍රසංගයක අපිට ඒ දේ විඳින්න වුණා. ඒ සංවිධායකවරයාගේ ගැටලුවක් නිසා. ඔහු ප්‍රසංගය හරියට සංවිධානය කරලා තිබ්බේ නැහැ. ඒත් අපි අපේ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් ප්‍රසංගය පැවැත්වුවා. නමුත් අපිට හිස් අතින් තමයි එන්න වුණේ. මොකද සංවිධායකයා අතුරුදන්. ප්‍රසංගය නොකර එන්න තිබුණත් අපි අපේ ප්‍රේක්ෂකයෝ අත හැරියේ නැහැ. එහෙම පොලු මේ ගමනේදි කාලා තියෙනවා. හැබැයි ඒවා අපිට හොඳ අත්දැකීම්

මේ ප්‍රසංග මාලාව තුළ ඔබට සොඳුරු වූ මතකයනුත් ඇති?

විදේශ ප්‍රසංග පවත්වද්දී ඉතාලි දරුවන් මගේ ළමා ගීතවලට විවිධ රංග වින්‍යාස, නර්තන යොදලා තියෙනවා. ඉතාලියේ මිලානෝ නුවර තිබුණු ප්‍රසංගයක ඉතාලි දැරියන් දෙන්නෙක් කොප්පර කොප්පර පිපිඤ්ඤා ගීතයට නර්තනයක් ඉදිරිපත් කළා. ඒක මට අමතක වෙන්නේ නැහැ. ස්විට්සර්ලන්තයේ පවත්වපු ප්‍රසංගයකදී එරට ජාතිකයෙක් වේදිකාවට ගොඩවෙලා සිංහල ගීතවලට ආසයි කිව්වා. එහෙම කියද්දී මටත් පුදුමයි. ඒ ප්‍රසංගයේ ඔහු අකුරු මැකී නෑ ගීතය ගායනා කළා. ඒකත් මට විශේෂ වුණා. ඔහු වෛද්‍යවරයෙක්. දෙතුන් වතාවක් ලංකාවට ඇවිත් හොඳ ගීතවල සංයුක්ත තැටි ඔහු අරගෙන ගිහින් තියෙනවා.

මෙවර ප්‍රසංගයේදී විශේෂත්වයක් සිදු කරනවද?

'මාරම්බරී' ප්‍රසංගවලදී මම එකම ගීත නෙමෙයි ගායනා කරන්නේ. මට ගීත සංචිතයක් තියෙනවා. ඒ නිසා ඒවා මාරු කර කර ගායනා කරනවා. මේ ප්‍රසංගය හත් අට වතාව නරඹපු අය ඉන්නවා. එකම ප්‍රසංගයක් ඉදිරිපත් කළොත් ඒ අයට අසාධාරණයක් වෙනවා. ඒ නිසා වෙනසක් එක්ක තමයි මම හැම ප්‍රසංගයක්ම පවත්වන්නේ. සියවැනි ප්‍රසංගයේ යම් යම් වෙනස්කම් කිහිපයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි නිර්මාණය කළ ගීතවල මූලයන් ගැන සාකච්ඡා කරන්නත් අදහසක් තියෙනවා.

සුභාවිත ගීතයට ඇලුම් කරන රසික පිරිස ගැන ඔබට මොකද හිතෙන්නේ...?

මොන රැලි ආවත් බොහෝ පිරිසක් ඉන්නවා සුභාවිත ගීතය මත්තෙම ජීවත් වෙන. පණ දෙන්න හරි ලෑස්තියි සුභාවිත ගීතය වෙනුවෙන්. ඒ අයට ඒ රසය දීලා අපි සුභාවිත ගීතයේ ආරක්ෂාව ලබාදිය යුතුයි. ඒ සඳහා හොඳ ගීත තව තවත් නිර්මාණය විය යුතුයි.

'මාරම්බරි' සියවැනි ප්‍රසංගයට ඔබේ පුතයි දුවයි එකතු වෙනවා කියලත් ආරංචියි..?

චන්දීප ජයකොඩි, ශාරන්‍යා ජයකොඩි පුතයි දුවයි කලාවට සෞන්දර්යයට ළැදි හැකියාවන් තිබෙන දෙන්නෙක් කියලා විශ්වාසය තියෙනවා. ඒ දෙන්නත් මෙවර ප්‍රසංගයටත් එකතු වෙනවා. පුතා මුල් ප්‍රසංගවල ඉඳලම බොක්ස් ගිටාරය වාදනය කළා. දුව ඒ ප්‍රසංගවල නතාෂා ගයන සුළඟක් වී ගීතය ගායනා කළා. විදේශ රටවලට ගියාම දුව ඒ රටවල දරුවන් එකතු කරගෙන රංග වින්‍යාසයක් ඉදිරිපත් කරනවා. මෙවර ප්‍රසංගයේදී පුතා අලුතින්ම නිර්මාණය කරන ගීතයකුත් ප්‍රසංගයට ඇතුළත් කරගන්නවා. මගේ දුවයි පුතයි දෙන්නම එකතු වෙලා එදාට විශේෂාංගයකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

පුතයි දුවයි ඔබ සහ බිරියගේ අඩිපාරේ ගෙනියන්නද ලෑස්තිය...?

පුතා ඕස්ට්‍රේලියාවේ මූල්‍ය කළමනාකරණ උපාධියක් කළේ. මේ දවස්වල එයා උපාධිය නිම කරලා ලංකාවට ඇවිත් ඉන්නවා. දුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වුණේ. එයත් වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙලා ඉන්නවා. අපි කවදාවත් ඒ දෙන්නට බල කළේ නෑ සංගීතය කරන්න කියලා. ඒ අය තෝරගන්න දෙයට අපි උදවු කරනවා. ගෙදර පරිසරයත් එක්ක ඒ දෙන්නත් සංගීතයටත් නැඹුරුවෙලා ඉන්නවා.

 

තාත්තාගේ හීනය මෙදා සැරේ හැබෑ කරනවා

මේ සැරේ 'මාරම්බරි' ප්‍රසංගයට චන්දීප ලොකු දායකත්වයක් දෙන්න නේද ලෑස්තිය?

ඔව්. මමයි නංගියි ඒ වැඩ කටයුත්තට සහයෝගයක් දෙනවා. අවුරුදු හයක්, හතක් කරගෙන ආපු මාරම්බරි ප්‍රසංගයේ සිය වැනි ප්‍රසංගය මෙවර පවත්වන්නේ. එහි විශේෂත්වයක් තිබෙන නිසා මෙදාපාර නෙළුම්පොකුණ රඟහල අරගෙන ලොකු ෂෝ එකක් කරන්න හිතුවා. තාත්තාගේ ගීත ලියපු අයයි තනු නිර්මාණය කළ අයයි එකතු කරලා උපහාරයක් කරන්නත් හිතුවා.

උපහාර පුද කරන අදහස කාගේ අදහසක්ද?

ඒක තාත්තාගේ තිබ්බ අදහසක්. ඉතිං ඒ අදහස සිය වැනි ප්‍රසංගයේදීවත් හැබෑ කරන්න හිතුණා. ප්‍රසංග සියයක් කරන එක පහසු නැහැ. තාත්තා අවුරුදු ගණනක් ක්ෂේත්‍රයේ ඉඳලා මේ කරපු දෙයත් ජයග්‍රහණයක්. ඒ හින්දා තාත්තගේ හීනය මේ විදියට හැබෑ කරන්න නංගියි, මමයි මේ සැරේ ලොකු සහයෝගයක් දෙනවා.

එදාට චන්දීපගේ ගීතයකුත් අහන්න ලැබෙනවා කියලා ආරංචියි.

ඔව්. මගේ 'රූ මාරුතේ' ගීතය සතියකට කලින් එළිදක්වනවා. තාත්තගේ ප්‍රසංගය දවසටත් ඒ ගීතය ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගීතය ලිව්වේ මගේ හොඳ යාළුවෙක් එක්ක. ගීතයේ තනුව නිර්මාණය කළෙත් මම.

ගීතයට රූප රචනාවක් කරන්න අදහසක් නැද්ද?

වීඩියෝ එක කල් අරගෙන කරනවා. කොහොමත් මාර්තු අප්‍රේල් වෙද්දි වීඩියෝ එක රිලීස් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ගායන මවුවරුන්ගේ, පියවරුන්ගේ අඩිපාරේ යන තවත් තරු දරුවෙක් වෙන්නද සූදානම් වෙන්නේ?

මම ගායනා කරනවා ඇහුවම ගොඩක් කට්ටිය කියන්නේ මම තාත්තා වගේ නෙමෙයි කියලා. තාත්තගේ කටහඬවත් මට නැහැ. තාත්තා බොහෝ වෙලාවට කළේ ඉන්දියානු සංගීතය. මම ඒවට කැමැතියි. හැබැයි මම කැමැතියි පොඩි කාලේ ඉඳන් අහපු ඉගෙන ගත්ත දේ එකතු කරගෙන දෙයක් කරන්න. මම ඉගෙන ගත්තේ බටහිර සංගීතය. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තමයි මම ඉගෙන ගත්තේ. මම ඉගෙන ගත්ත දේවල් සහ මම ගෙදරින් ඉගෙන ගත්ත දේවල් තරාතිරම් දෙකක තියෙන්නේ. ඉතිං මට හිතුණා ඒ හැම දෙයක්ම එකතු කරගෙන ගීත ඇල්බමයක් කරන්න.

සංගීත ක්ෂේත්‍රය ඇතුළේ තාත්තාගේ අනුකරණයක් නොවී ඔයාගෙම අනන්‍යතාවක් ගොඩනඟා ගන්නද හදන්නේ?

ඇත්තටම මට තාත්තාගේ ගීත කියලා ඉස්සරහට එන්නවත් තාත්තාගේ සම්බන්ධතා පාවිච්චි කරලා ඉස්සරහට එන්නවත් ඕන වුණේ නැහැ. මට ඕන වුණේ මමම තනු නිර්මාණය කරලා ගමනක් එන්න. ඒ නිසා තමයි මගේම නිර්මාණ හත අටක් එකතු කරගෙන ඇල්බම් එකක් කරන්නත් හිතුවේ.

සංගීතමය පසුබිමක ජීවත් වුණත් චන්දීප අධ්‍යාපන කටයුතුවලට තෝරා ගන්නේ වෙනත් විෂය පථයක්. ඇයි ඒ?

මම සංගීතය පැත්තට නැඹුරු වුණාට ඕස්ට්‍රේලියාවේ ගිහින් මම කළේ මූල්‍ය
කළමනාකරණ උපාධියක්. අවුරුදු තුනක් ඒ උපාධිය කරලා තමයි ලංකාවට ආවේ. සංගීතයයි උපාධියයි ගත්තම ලෝක දෙකක් වගේ. හැබැයි උපාධියත් මම ආසාවෙන් කළා.

එතකොට ඉදිරියට යන්න තෝරගන්නේ මොන අංශයද?

ගත්ත උපාධිය තියෙයි. මම පොඩි කාලේ ඉඳන් කැමැති වුණේ සංගීතය කරන්න. සිංදු කියනවට වඩා නිර්මාණ හදන්න ඕන වුණේ. තාත්තා ස්ටුඩියෝවලට යද්දි මම ගිහින් ඒවා අහගෙන ඉඳලා බොහෝ දේවල් ඉගෙන ගත්තා. රෝහණ වීරසිංහ මහත්මයාගේ රෙකෝඩින්වලට ගිහින් ඇහිච්ච දේවල් පවා මට ගොඩක් වටිනවා. දැන් මම යන සංගීත ගමනට ඒක උදව්වක්.

කාලෙන් කලෙට සංගීත ක්ෂේත්‍රයේ විවිධ රැලි එනවා. ඔය එන රැලිවලට චන්දීප අහුවෙයිද? නැත්නම් තමන්ට අනන්‍ය වූ ගමනක යයිද?

මම දැනට ගීත පහක් විතර හදලා ඉවරයි. මම කරන හැම සිංදුවක්ම එක වර්ගයකට මුවා නොවුණු ගීත. දැන් ට්‍රෙන්ඩ් එක බලලා ගීත කළොත් මේ ක්ෂේත්‍රයේ ගොඩක් දුර යන්න බැහැ. මොකද රැල්ල නැති වුණාම ඒ දේවල් නැති වෙනවා. ඒ නිසා මම විවිධත්වයෙන් යමක් කරනවා.

පෙනුමත් එක්ක චන්දීපට රංගනයට එන්න අවස්ථා ලැබුණේ නැද්ද?

වැඩ කිහිපයකට කතා කළා. ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට, වෙළඳ දැන්වීම්වලට කතා කළා. යාළුවන්ගේ මියුසික් වීඩියෝවලටත් ගොඩක් කතා කරලා තියෙනවා. මට ඕන සංගීතයෙන් ඉස්සරහට එන්න. ඉදිරියට හරි දෙයක් ලැබුණොත් බලනවා.

ඒ කියන්නේ රංගනයට කැමැත්තක් නැද්ද?

පොඩි කාලේ රඟපාන්න ලොකු ආසාවක් තිබුණා. ලොකු වෙනකොට සංගීතය තරම් මට ඒක හිතට සමීප වුණේ නැහැ.

දැන් දිගටම ලංකාවේ ඉන්නවාද?

ආයෙත් ලංකාවෙන් යයි කියලා හිතනවා. හැබැයි නිතරම ලංකාවට එනවා යනවා. මගේ සංගීතය හරියට රසිකයන් අතරට ගියොත් මම දිගටම ඒ වැඩවලටත් සම්බන්ධ වෙයි.

 

අපිට කැමැති දේ කරන්න ඉඩ දුන්නා

තාත්තාගේ "මාරම්බරි" ප්‍රසංගය නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවෙයි. හැබැයි "මාරම්බරි" සියවැනි ප්‍රසංගයට ලොකු දායකත්වයක් දෙන්න ලෑස්තියි කියලා ආරංචියි?

ඔව්. මමයි අයියයි මෙවර ප්‍රසංගයේදී එකතු වෙලා සින්දු කියනවා. අනෙක් වතාවලට වඩා මෙවර ප්‍රසංගයේදී ස්ටේජ් එකේදී වගේම ඊට පිටුපසින් ඉඳන් ලොකු සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

මෙවර ප්‍රසංගය විශේෂ කඩඉමක් නිසාද ලොකු දායකත්වයක් දෙන්න හිතුවේ?

ඔව්. "මාරම්බරි" ප්‍රසංගය පටන් ගනිද්දී මම පොඩියි. අයියයි මමයි සංගීතයට ළැදිව ඉන්න කාලෙක මෙවර විශේෂ දායකත්වයක් දෙන්න ඕන කියලා හිතුවා.

ශාරන්‍යාට තනියම ගීතයක් කරන්න අදහසක් නැද්ද?

මම ඉස්සෙල්ලම මගෙ අධ්‍යාපන කටයුතු ඉවර කරන්න ඕන. මම ඒඛ්ඕඊ කැම්පස් එකේ පළමු වසරේ ඉන්නේ. ඉගෙන ගන්න කාලෙදි සංගීත කටයුතුවලට පොඩියට සම්බන්ධ වෙනවා. ඉගෙනීම් කටයුතු ඉවර කරලා තමයි ලොකුවට දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ.

ශාරන්‍යාත් තාත්තාගෙයි අම්මාගෙයි අඩිපාරේ යයිද? නැත්නම් වෙනත් වෘත්තියක් තෝරා ගනියිද?

වෙනත් වෘත්තියක් කරන ගමන් සංගීත කටයුතුවලට දායක වෙන්න තමයි අදහස තියෙන්නේ. සම්පූර්ණයෙන්ම සංගීතය විතරක් කරන්න අදහසක් නැහැ.

කලාකරුවන්ගේ දරුවෝ දැන් ලොකු ගමනක් යනවා. ශාරන්‍යා ඒ ගමනට මුහු වෙන්න ප්‍රමාද වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. හරි වෙලාවට හරි
දේ වෙයි. අධ්‍යාපන කටයුතුත් කරගෙන හරිම වෙලාවට හරි දේ කරයි.

අම්මයි තාත්තයි සංගීත කටයුතුවල නිරත වෙන්න කියලා ශාරන්‍යාට බල කරන්නේ නැද්ද?

එහෙම බල කරන්නෙම නැහැ. අපිට කැමැති දේ කරන්න කියලා තමයි තාත්තයි අම්මයි කියලා තියෙන්නේ. අපි කරන දෙයට එයාලා සහයෝගය දෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon